Gossips

චම්පික රණවකත් කණගාටුවෙන්

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමට රජය ගත් තීරණය ගැන තමන් කණගාටු වන බව අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසනවා.
බත්තරමුල්ල – සුහුරුපායේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
මෙරට සංහිදියාව සහ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහ බ්‍රිතාන්‍ය හා ජර්මනිය ඇතුළු රටවල් 5 ක අනුග්‍රහය ඇතිව සකස් කළ යෝජනාවලිය ඊයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරය වෙත ඉදිරිපත් කෙරුණා.
2015 ඔක්තෝම්බර් හා 2017 මාර්තු මාසයේ ඉදිරිපත් කළ යෝජනා මගින් ශ්‍රී ලංකාව එකග වූ කරුණු ක්‍රියාත්මක කිරීමට දිරිගන්වන බව එහි සදහන්.
මේ අතර, 40 වන ජගත් මානව හිමිකම් සැසිවාරයට සහභාගි වීම සඳහා විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපනගේ නායකත්වයෙන් යුත් පස්දෙනෙකුගේ සමන්විත කමිටුවක් නම් කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ විදේශ අමාත්‍ය තිලක් මාරපන, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග ඊයේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම නියෝජිත පිරිස නම් කළ බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම, උතුර පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවීනාත ආරියසිංහ සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් නෙරීන් පුල්ලේ මෙහි සෙසු සාමාජිකයින්.
කෙසේ වෙතත්, පසුගියදා පැවති මාධ්‍ය ප්‍රධානීන්ගේ රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුම් දුන්නේ තමන් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් ජිනීවා මානව හිමිකම් සැසිවාරයට එක්වන බවයි.
එහෙත් නව නියෝජිත පිරිසට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ එක් කර නැහැ.
මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහගෙන් ප්‍රශ්න කළා.