Gossips

ගුරුවරුන් – විදුහල්පතිවරුන් ලෙඩ වෙයි

වැටුප් විෂමතා ඉවත් කර ගුරු – විදුහල්පති වැටුප් වැඩිකිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද දිනයේදී ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවන බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ විදුහල්පතිවරු ඇතුලු අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ වෘත්තිය සමිති 30 ක සහය මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට හිමිවන බවයි.
එමෙන්ම පෙරේදා ආරම්භ වූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ නියාමන පරීක්ෂණ කටයුතුවලටද අද දිනයේ සහභාගි නොවන බව ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත් විභාග කොමසාරිස් සනත් පූජිත කියා සිටියේ වර්ජනය හේතුවෙන් මෙම පරීක්ෂණවලට ගැටළුවක් ඇති නොවන බවයි.
ඊට අදාළ පරීක්ෂකවරුන් විභාග පරීක්ෂණ කටයුතු සඳහා සහභාගිවීමට බැඳී සිටින බවද ඔහු සඳහන් කළා.
එමෙන්ම ලංකා ගුරු සංගමයද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අද දිනයේ ක්‍රියාත්මක වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව කොළඹ – කොටුව දුම්රියපල අසලදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවයි.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට දිවයින පුරා සිටින විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ගේ සහය හිමි වන බව ද එම නිවේදනයේ සදහන්.