Gossips

ජනපති වැය ශීර්ෂ විවාදය අද

අයවැය කාරක සභා අවස්ථාව අද ආරම්භ වන අතර මේ දිනවල රටේ දැඩි කතාබහකට ලක්ව ඇති ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පෙරවරු 10.30ට විවාදයට ගැනීමට නියමිතයි.
ඊට අමතරව අග්‍රාමාත්‍ය කාර්යාලය, පාර්ලිමේන්තුව, උපරිමාධිකරණවල විනිශ්චයකරුවන්, අමාත්‍ය මණ්ඩල කාර්යාල, රාජ්‍ය සේවා, අධිකරණ, පොලිස්, මානව හිමිකම්, මැතිවරණ, සීමානිර්ණ, විගණන සේවා, ජාතික ප්‍රසම්පාදන යන කොමිෂන් සභා ඇතුළු වැය ශීර්ෂ 24ක් අද දිනයේදී කාරක සභා අවස්ථාවේදී විවාද කිරීමට නියමිතයි.
ඉන් අනතුරුව එම වැය ශීර්ෂ සම්බන්ධයෙන් ඡන්ද විමසීම සිදුකරනු ඇති.
අයවැය කාරක සභා විවාදය දින 19ක් පැවැත්වෙන අතර, අවසන් ඡන්ද විමසීම අප්‍රේල් මස 05 වන දා පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
2019 අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර පසුගිය 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහි දෙවන වර කියවීමේ විවාදය 06 වනදා ආරම්භ වී, ඊයේ අවසන් කෙරුණා.
අයවැය දෙවන වර කියවීම පිළිබදව ඊයේ පස්වරුවේ පැවති ඡන්ද විමසීමේදී එය වැඩි ඡන්ද 43කින් සම්මත වුණා.
අයවැයට පක්ෂව ඡන්ද 119 ක් ලැබුනු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 76 ක් පමණයි.
එක්සත් ජාතික පක්ෂයේ, දෙමළ ජාතික සන්ධානයේ සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කළ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ඊට විරුද්ධව ඡන්දය භාවිතා කළා.
ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේදී නිදහස් පක්ෂ ඇතැම් පිරිසක් සභා ගැඹේ නොසිටීම විශේෂත්වයක් වුණා.
මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, තිලංග සුමතිපාල, සරත් අමුණුගම, මහින්ද සමරසිංහ, එස්.බී. දිසානායක, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, ශාන්ත බණ්ඩාර, ෆයිසර් මුස්තාෆා ඇතුළු පිරිසක් මෙලෙස සභා ගැඹේ නොසිටි බවයි වාර්තා වුණේ.
විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේදී එහි සිටියේ නැහැ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අද දිනයේ විවාදයට ගන්නා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට පක්ෂව ඡන්දය ලබාදීමට ද තීරණය කර තිබෙනවා.
මේ අතර, ජනාධිපති වැය ශීර්ෂයට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ඡන්ද ප්‍රකාශ කරන බව කිහිප අවස්ථාවකදී සඳහන් කළා.