Gossips

කැවුමාගේ නිවසකින් හමුවූ හෙරොයින් පාකිස්ථානයෙන් හෝ ඇෆ්ගනිස්ථානයෙන් ගෙන්වූ බවට තොරතුරු

ඩුබායි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු වන කැලුම් ඉන්දික හෙවත් කැවුමා රැදී සිටි බව කියන මොරටුව – රාවතාවත්ත නිවසේ තිබී සොයාගත් හෙරොයින් තොගය පාකිස්ථානයේ හෝ ඇෆ්ගනිස්ථානයේ සිට මෙරටට රැගෙන විත් ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ රුපියල් කෝටි 200 කට අධික වටිනාකමකින් යුත් එම හෙරොයින් කිලෝ 177 පසුගිය වසරේ නොවැම්බර් හෝ දෙසැම්බර් මාසවලදී මෙරටට රැගෙනවිත් ඇති බවයි.
දියමන්තියක් බව පැවසෙන පාෂාණයක් සමඟ පසුගියදා අත්අඩංගුවට ගැනුනු කැළුම් ඉන්දික හෙවත් කැවුමා නැමැත්තා රැඳී සිටි මොරටුව – රාවතාවත්තේ පිහිටි දෙමහල් නිවසකින් මෙම මත්කුඩු සොයා ගැනුනේ පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ සිදුකළ හදිසි වැටලීමකදියි.
එහි තිබී ටී 56 ගිනි අවි සඳහා යොදන උණ්ඩ 2803, බෝර 12 පතොරොම් 234ක්, ජපානයේ නිෂ්පාදිත ගිනි අවියක් සහ තවත් ස්වයංක්‍රීය ගිනි අවියක් මෙන්ම ආයුධ කිහිපයක්ද සොයා ගනු ලැබුවා.
මීට අමතරව සිම් කාඩ්පත්, ජංගම දුරකථන සහ විලංගු ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක් සොයා ගෙන ඇති බව සඳහන්.
එමෙන්ම නිවස වැඩිදුර පරීක්ෂාවේදී සී.ඩී. තැටි කිහිපයක් සොයාගෙන ඇති අතර ඉන් එක් සී.ඩී. තැටියක් ඩුබායි හි අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ පියාගේ අවමංගල්‍යයේ දර්ශන ද ඇතුළත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් බලධාරියා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් මත්කුඩු මාකඳුරේ මධුෂ්ට අයත් බවට සැක කෙරෙනවා.
ඔහුගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ දර්ශන ඇතුළත් සී ඩී පටය මේ වනවිට විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන්නේ ඊට සහභාගිවූ පාතාල සාමාජිකයන් හඳුනාගැනීම සඳහායි.
මේ අතර, ඩුබායි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ මෙහෙයවීමෙන් කොල්ලකනු ලැබූ දියමන්තියක් බවට පැවසෙන පාෂාණය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යනාංශය වෙත යොමු කිරීමට පොලිසිය ගෙන තිබූ තීරණය අත්හැර දමා තිබෙනවා.
ඒ, එම පාෂාණයේ හිමිකරු ඊට අකමැත්ත පළ කිරීම හේතුවෙන්.
මෙය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පරික්ෂාවට ද ලක් කෙරුණු අතර පාෂාණය දියමන්තියක් බවට තහවුරු කළ නොහැකි බවයි පරික්ෂාවෙන් පසු එහි විශේෂඥයින් සඳහන් කළේ.
කෙසේ වෙතත් අදාල පාෂාණය වැඩිදුර පරික්ෂාව සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත යොමු කරන බව සිද්ධිය පිළිබද විමර්ශනය කරන පෑලියගොඩ කොට්ඨාශ විමර්ශන ඒකකය පසුව කියා සිටියා.
කෙසේ වෙතත් එය පලූදු කිරීමට ඉඩ ඇති නිසා අදාළ පාෂාණය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යොමු කිරීමට තමන් අකමැත්ත ප්‍රකාශ කළ බවයි එම පාෂාණයේ හිමිකරු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අතර ඝාතනයට ලක්වූ සමයං නැමති පාතාල නායකයාගේ ප්‍රබල ආධාරකරුවෙකු මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියක් සමඟ අංගොඩ – ගල්තෝටුව පාර ප්‍රදේශයේදී මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා.
රොහාන් ප්‍රදීප් හෙවත් වැල්ලම්පිටියේ කළුවා නැමති මෙම සැකකරු, හිටපු යුද හමුදා සාමාජිකයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
සමයං නැමති පාතාල නායකයා සමඟ කප්පම් ලබාගැනීමට යාමේදී මීට පෙර අවස්ථාවක මොහු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව සැකකරු දැනට ඩුබායි අත්අඩංගුවේ පසුවන අංගොඩ ලොක්කා නැමති පාතාල නායකයා සමඟ ඇසුරක් පවත්වා ඇති අතර, ඇප ලබාගැනීමේදී මොහුට සහය වී ඇත්තේ අංගොඩ ලොක්කා නැමති පාතාල සාමාජිකයා බවයි හෙළිවී ඇත්තේ.
කෙසේ වෙතත් පොලීසිය අද උදෑසන කුලී පදනම මත මොහු පදිංචිව සිටි ගල්තොටුව පාර නිවස වැටලු අතර, එහිදී ප්‍රකාශ කර ඇත්තේ අදාළ ගිනි අවිය නිවස පිටුපස කෙසෙල් පඳුරක් අසළ වළදමා ඇති බවයි.
ඒ අනුව සොයා ගැනුනු ගිනි අවිය අපරාධ සඳහා යොදාගත් එකක්ද යන්න පිළිබඳව සෙවීම සඳහා පොලීසිය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.rn