Gossips

පන්නිපිටිය වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

මහරගම – පන්නිපිටිය – අරලිය උයන ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ 35 හැවිරිදි සැකකරු කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි ගගන චන්තක නැමැත්තා බෝකුන්දර විශේෂ ආර්ථික මධ්‍යස්ථානය අසළ දී ඊයේ අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සහ ඒ සඳහා යොදා ගන්නා පතොරොම් 6ක් ද සොයාගෙන තිබෙනවා.
පසුගිය පෙබරවාරි මස 21 වන දා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර පළා ගොස් තිබුණා. වෙඩි තැබීමෙන් මිය ගියේ 35 හැවිරිදි මනෝජ් සුදර්ශන් නැමැති පුද්ගලයෙක්.
ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු මෙම වෙඩි තැබීම සඳහා පැමිණි ප්‍රධාන සැකකරු මෙන්ම යතුරුපැදිය පැදවූ පුද්ගලයා බවට ද අනාවරණ වී තිබෙනවා.
එමෙන්ම දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින තාරක ධර්මකීර්ති පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරකගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව ද අනාවරණ වී ඇති කරුණක්.