Gossips

බොරැල්ල ට්‍රැෆික් ඕ.අයි.සී ගේ අවසන් කටයුතු අද – පොලිස් අධිකාරිවරයාගේ පුත්‍රයාත් යළි අධිකරණයට

රිය අනතුරකින් පසු සති දෙකකට අධික කාලයක් රෝහල් ගතව සිටියදී ජීවිතක්ෂයට පත්වූ බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍රගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පූර්ණ පොලිස් ගෞරව සහිතව බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.
දේහය මේ වනවිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මොහු පෙරේදා රාත්‍රියේ මියගියා.
පසුගිය 24 වන දා බම්බලපිටිය – ගාලූ පාරේ – ඩුප්ලි බුලර්ස් මංසන්ධියේදී පොලිස් ස්ථානාධිපතිවරයා ගමන් ගත් යතුරුපැදිය අනතුරට පත් කරමින් ඩිෆෙන්ඩර් රථය පළා ගොස් තිබූ අතර එය පසුව සොයා ගැනුණේ බත්තරමුල්ල – පැලවත්ත – පැගෝඩා ගාඞ්න් නිවසක නවතා තිබියදියි.
එම අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ගේ පුත්‍රයාගේ ඇතුලූ හත්දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගෙන් 6 දෙනෙකු පසුව ඇප මත මුදා හැරුණා.
මෙම අනතුර සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයෙකු වන නවිඳු ඔමේෂ් රත්නායක අද යළි
අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එමෙන්ම බොරැල්ල පොලිස් රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුහුණු පොත ඔස්සේ විවිධ සටහන් යෙදූ 15 දෙනෙකු අධිකරණයට කැදවා සාක්ෂි ලබාගැනීමට කටයුතු කරන බව පොලීසිය ඊයේ ප්‍රකාශ කළා.