Gossips

අකුරල කෝටියක හෙරොයින් තොගයේ හිමිකරු බන්ධනාගාරගත ජාවාරම්කරුවෙක්

අම්බලන්ගොඩ – අකුරල – ගල්දූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කෝටියකට වැඩි හෙරොයින් තොගයේ හිමිකරු බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට අනාවරණ වී තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ ගාල්ල ඒකකයේ නිලධාරියෙකු සඳහන් කළේ එම ජාවාරම්කරු මීට පෙර මත්කුඩු වැටලීමකදී අත්අඩංගුවට ගෙන මේ වනවිට කළුතර බන්ධනාගාරයේ රඳවා ඇති බවයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරක් මත හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 65 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අම්බලන්ගොඩ – අකුරලදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේදියි.
මෙලෙස අත්අඩංගුවට ගත්තේ 58 සහ 43 හැවිරිදි වියේ පසුවන රත්ගම සහ ඌරගස්මංහන්දිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.
ඉන් 43 හැවිරිදි සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීමේදී පවසා ඇත්තේ මෙම මත්කුඩු බන්ධනාගාර ගතව සිටින සිය සොහොයුරා මාර්ගයෙන් තමන් වෙත ලැබුණු බවයි.
මේ අතර මහියංගණය – දඹගොල්ල – අලූත්කැටියාව මංසන්ධියේදී ටී 56 ගිනි අවි සඳහා යොදාගන්නා සජීව පතොරම් 24 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි මාපාකඩවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
එමෙන්ම ඔහු සන්තකයේ තිබී ටී 56 ගිනි අවියට සමාන ලෙස සකස් කරන ලද මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද සොයාගෙන ඇති බව සඳහන්.
සැකකරු අද මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.