Gossips

සන්නද්ධ හමුදා දේශපාලනයට ඈදාගනු එපා – ඉන්දීය මැතිවරණ කොමිසම පක්ෂවලට කියයි

නුතන ප්‍රජාතන්ත්‍රවාදය තුළ රටක සන්නද්ධ හමුදා දේශපාලනීකරණය නොවිය යුතු බව ඉන්දීය මැතිවරණ කොමිසම අවධාරණය කරනවා. ඒ අනුව එළඹෙන ඉන්දීය මහ මැතිවරණය හෙවත් ලෝ්ක් සභා මැතිවරණයේදී ප්‍රචාරක ව්‍යාපාර සඳහා ඔවුන්ගේ ඡායාරූප ආදිය යොදා නොගන්නා ලෙසයි එමඟින් සියලූ දේශපාලන පක්ෂවලට දැනුම්දී ඇත්තේ.
එම පියවරට හේතුවී ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති මැතිවරණ ප්‍රචාරක පෝස්ටරයක් බව සඳහන්.
එහි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුලූ භාරතීය ජනතා පක්ෂ නායකයන් මෙන්ම පසුගියදා පාකිස්ථාන ග්‍රහණයට හසුවී නිදහස ලැබූ ගුවන් නියමු අභිනන්දන්ගේ ඡායාරූපයද ඇතුළත් කර තිබෙනවා.
මෝදිගේ නායකත්වය යටතේ ඕනෑම අරමුණක් ඉටුකළ හැකි බව සඳහන් සටහනක් සමඟ එම පෝස්ටරය ඉන්දියාවේ දිල්ලි අගනුවර ප්‍රදර්ශනය කරනු ලැබ තිබුණා.
මේ අතර ඕස්ට්‍රේලියාව සමඟ පැවති එක්දින තරගයකදී ඉන්දීය හමුදා හිස් වැසුම් පැළඳ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පිලට එරෙහිව පියවරක් ගන්නා ලෙස පාකිස්ථානය, ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඉන්දීය කණ්ඩායම එලෙස හමුදා හිස් වැසුම් පැළඳ ක්‍රීඩා කළේ කාශ්මීරයේ ත්‍රස්ත ප්‍රහාරයකින් මියගිය ඉන්දීය ආරක්ෂක හමුදා සාමාජිකයන්ට උපහාරයක් ලෙසින්.
පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ එමඟින් ක්‍රීඩාව දේශපාලනීකරණය කිරීමට ඉන්දියාව කටයුතු කර ඇති බවයි.