Gossips

ව්‍යවසායකයින් සඳහා ණය යෝජනා ක්‍රම 100 ක්

දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ව්‍යාපාරිකයින් නඟා සිටුවීම සඳහා ඒකාබද්ධ ණය යෝජනා ක්‍රම 100ක පුළුල් වැඩපිළිවෙළක් ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයට, මහබැංකුවට සහ රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
රාජ්‍ය බැංකු ප්‍රධානීන් සමග අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි ජනාධිපතිවරයා නිලධාරීන්ට මෙලෙස උපදෙස් ලබා දී ඇත්තේ.
ජාතික ආර්ථික සභාව මඟීන් ආර්ථික පුනර්ජීවනය උදෙසා ඒකාබද්ධ ණය යෝජනා ක්‍රම 100ක වැඩපිළිවෙළක් මේ වනවිටත් ඉදිරිපත් කර තිබෙනවා.
ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාවට නැංවීමට අපේක්ෂිත මෙම වැඩපිළිවෙළ පිළිබඳ වාර්තාවක් ඉදිරි සති දෙකක කාලය තුළ තමා වෙත ලබාදෙන ලෙස ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී මුදල් අමාත්‍යාංශය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
එමෙන්ම රැකියා විරහිත උපාධිධාරින් ව්‍යවසායකයින් බවට පත්කිරීම අරමුණ කර ගනිමින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.