Gossips

රථවාහන නිසා කොළඹ උණුසුම් – විදුලි ඉල්ලූමත් ඉහළට

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි ඉල්ලූම ඉහළ ගොස් ඇති බැවින් අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන මෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ උණුසුම් කාලගුණ තත්ත්වය මෙන්ම වැසි රහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලිය උත්පාදනය කරන ජලාශවල ජල මට්ටම ද මේ වනවිට පහත බසිමින් පවතින බවයි.
මේ වනවිට වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සටහන් වන්නේ සියයට 45.1 ක් ලෙසයි. කොත්මලේ, රන්ටැඹේ, බෝවතැන්න, මාවුස්සා කැළේ වැනි ජලාශවලද ජල මට්ටම පහත බැස තිබෙනවා.
කෙසේ වෙතත් රන්දෙණිගල, මොරගහකන්ද, උඩවලව, දඹුළු ඔය, රාජංගණය, නාච්චාදූව, නුවරවැව, පරාක්‍රම සමුද්‍රය, කවුඩුල්ල වැනි වැව් සහ ජලාශ රැසක ජල මට්ටම සියයට 80 ඉක්මවා පැවතීම හේතුවෙන් අදාළ ප්‍රදේශවල ජලසම්පාදන කටයුතුවල ප්‍රබල බාධාවන් මතුව නැහැ.
කෙසේ වෙතත් පවතින උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා කියා සිටියේ වනාන්තර හෙළි පෙහෙළි කිරීම සහ ගොඩනැගිලි විශාල වශයෙන් ඉදිකිරීම මෙන්ම වාහන භාවිතය ඉහළ යෑම හේතුවෙන් කොළඹ නගරයේ උණුසුමද ඉහළ ගොස් ඇති බවයි.