Gossips

රුධිර සාම්පල වෙනස් කිරීමට පොලිස් කොස්තාල්පල්වරයෙකුට අල්ලස් දීමට තැත්කළ අයෙක් අත්අඩංගුවේ

පොලිස් කොස්තාල්පරයෙකුට රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබාදීමට තැත් කළ පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කාන්තාවක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට අදාළව ඩී.එන්.ඒ. වාර්තාවක් ලබාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණයක රුධිර සාම්පලය වෙනස් කිරීම සඳහා සැකකරු විසින් මෙම අල්ලස් මුදල ලබා දීමට උත්සාහ කර ඇති බව සඳහන්.
මොණරාගල මහාධිකරණයේ වැසිකිළිය තුළ දී සැකකරු අල්ලස් මුදලින් රුපියල් අනූ දහසක අතිකාරමක් ලබාදෙන අවස්ථාවේදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙක් බවයි වැල්ලවාය පොලිසිය සඳහන් කළේ.
සැකකරුගේ බිරිඳගේ නැඟණිය වූ 16 හැවිරිදි බාල වයස්කාර දැරියක් 2016 වසරේදී සැකකරු විසින් දූෂණය කර ඇති අතර පසුව ඇය දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා.
සැකකරු විසින් අදාල බාල වයස්කාර දැරිය දූෂණය කර ඇති බවට පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරන නඩු කටයුත්තකට අදාලව ඩී.එන්.ඒ. වාර්තාවක් ලබාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණයක රුධිර සාම්පලය වෙනස් කිරීමට සැකකරු මෙලෙස අල්ලස් මුදල ලබාදීමට උත්සහ කර ඇති බව සඳහන්.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (08) දින මොණරාගල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.