Gossips

අසත්‍ය චෝදනා ගොනු කළ පොලීසියට, වන්දි ගෙවන්න වෙයි

යතුරුපැදියකින් ගංජා ග්‍රෑම් 500ක් ප්‍රවාහනය කළ බවට පුද්ගලයෙකුට එරෙහිව ව්‍යාජ චෝදනාවක් ගොනු කළ පොලිස් නිළධාරීන් පිරිසක් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ තීන්දු කළ අතර, අදාළ පුද්ගලයාට වන්දි ගෙවන ලෙස ද නියෝග කළා.
2011 වසරේ ජනවාරි 1 වන දා පෙත්සම්කරු තම සේවා ස්ථානයේ නව වසර සමරමින් සිටියදී වගඋත්තරකාර පොලිස් නිලධාරියෙකු පැමිණ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට බව පවසා පානදුර පොලීසියට රැගෙන යන්නේ යැයි දැනුම් දී ඔහු කැදවාගෙන ගොස් ඇත්තේ මොරොන්තුඩුව පොලීසියටයි.
එහිදී ගංජා පාර්සල් තොගයක් පෙන්වා ඔහු ඒවා ප්‍රවාහනය කළේ යැයි චෝදනා කොට බලහත්කාරයෙන් ප්‍රකාශයකට අත්සන් ගෙන ඇත්තේ ඇගිලි සලකුණු ද ඒවායේ සටහන් කර ගනිමින්.
පොලීසිය ගොනු කළ බී වාර්තාවේ එම වසරේ ජනවාරි 3 වන දා කලපුගම දී යතුරුපැදියකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටි ඔහු අත්අඩංගුවට ගත් බව සදහන් කළ ද, ඔහුගේ සේවා ස්ථානයේ පරීක්ෂකවරයා දිවුරුම් පෙත්සමක් මගින් ප්‍රකාශ කර ඇත්තේ ඔහු ජනවාරි 1 වන දා අත්අඩංගුවට ගත් බවයි.
එම පරස්පරතාව පිළිබද වාර්තාවක් සැපයීම පොලීසිය විසින් පමා කිරීම හේතුවෙන් පෙත්සම්කරුට මාස දෙකයි දින 7ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදුවුණා.
කෙසේ නමුත්, පොලීසිය ගොනු කළ නඩු වාර්තාව අසත්‍ය බව තහවුරු කරමින් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය පෙත්සම්කරු නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.
ඉන් අනතුරුව ඔහු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුවයි ඊයේ ප්‍රකාශයට පත් කෙරුණේ.
එහිදී පෙත්සම්කරු වෙත රුපියල් 40,000ක වන්දියක් ගෙවන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකාර පොලිස් නිලධාරීන් 4 දෙනෙකුට රුපියල් 35,000 බැගින් ගෙවන ලෙස නියෝග කළා.
එවකට මොරොන්තුඩුව පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000ක වන්දියක් පෙත්සම්කරු වෙත ගෙවන ලෙසයි නියෝග කෙරුණේ.
අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව ගනු ලැබූ විනය ක්‍රියාමාර්ග මාස 3ක් ඇතුළත වාර්තා කරන ලෙස ද බුවනෙක අලුවිහාරේ, විජිත් කේ. මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.
මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නිතිඥ විරාන් කොරෙයා පෙනී සිටි අතර, එකේ සිට 5 දක්වා වග උත්තරකාර පොලිස් නිලධාරීන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටියේ නැහැ.
පානදුර සහකාර පොලිස් අධිකාරීවරයා, පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ මලික් අසීස් පෙනී සිටියා.