Gossips

ඇමති අකිලට එරෙහි පැමිණිල්ල, ජනපති කොමිසමේ විමර්ශනයට

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට එරෙහිව 2015/2018 කාල වකවානුවේ වංචා, දූෂණ සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත කළ පැමිණිල්ල පිළිබඳව විමර්ශනය කිරීමට තීරණය කර තිබෙනවා.
මන්ත්‍රීවරයා සිය පැමිණිල්ල මගින් සඳහන් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සුරක්ෂා රක්ෂණ යෝජනා ක්‍රමය මගින් සිසු දරුවන්ට කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව රුපියල් මිලියන 2300 ක මුදලක් අපතේ යවා ඇති බවයි.
එමෙන්ම, 2018 වසරේ පෙළපොත් මිලියන 29 ක් මුද්‍රණය කර, එහි අමාත්‍යවරයාගේ ඡායාරූපයක් සහ පණිවුඩයක් ඇතුළත් කර එක් සිය ප්‍රතිරූපය නැංවීම පිණිස මහජන මුදල් සාවද්‍යව පරිහරණය කර ඇති බවටද විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය පැමිණිල්ලෙන් පෙන්වා දී තිබෙනවා.
මේ අතර, පාසල් නිල ඇඳුම් වෙනුවට වවුචර් ලබාදීමේදී වැඩිපුර රුපියල් මිලියන 538 ක මුදලක් අමතරව දැරීමට සිදුව ඇති බවටද අදාළ පැමිණිල්ලේ සඳහන්.
එමෙන්ම, සාගර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විශ්වවිද්‍යාලය තුළ සිදුකරනු ලබන මූල්‍යමය වංචා සම්බන්ධයෙන් ඒකාබද්ධ වෘත්තීය සමිති සංසදය ඉදිරිපත් කළ පැමිණිල්ලක්ද විමර්ශනය කිරීමට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
මේ අතර, 2015/2018 කාල වකවානුවේ වංචා, දූෂණ සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත මේ වනවිට පැමිණිලි 522 ක් ලැබී ඇති අතර, ඊයේ දිනයේදී ඊ.ටී.අයි. ගනුදෙනුව සම්බන්ධයෙන්, ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය විසින්ද පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.