Gossips

මන්ත්‍රී ඩී.වී. චානකගෙන් කථානායකවරයාට ඉල්ලීමක්

තම නිල රථයට යම්කිසි දෙයක් දැමීමට උත්සහ කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.
ඒ අද පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින්.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ලේකම්වරයෙකු යැයි සඳහන් කරන පුද්ගලයෙකු සමග එක්ව තංගල්ල කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතා ඩී.වී. චානක මන්ත්‍රීවරයාගේ නිල රථයට කිසියම් දෙයක් දමන්නැයි ඉල්ලා සිටි බවට අජිත් ලක්මාල් නම් තරුණයා පසුගිය මස 25 වැනිදා පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
මෙම සිද්ධිය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා අද පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළා.
මේ අතර, මෙම සිද්ධිය පිළිබඳව හෙළිකළ තමන්ගේ ආරක්ෂාව තර කරදෙන ලෙස ඉල්ලමින් අපරාධ විමර්ශන හා සාක්ෂිකරුවන්ට සහය සහ ආරක්ෂාව ලබාදීමේ කොට්ඨාසයට අද පැමිණි අජිත් ලක්මාල් ප්‍රකාශයක් ලබාදුන්නා.
පැය 3 කට ආසන්න කාලයක් එම කොට්ඨාසයේ රැඳී සිටි ඔහු අනතුරුව පිටතට පැමිණි අතරල ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා මාධ්‍යයට අදහස් පළකළා.
මේ අතර, කුඩාවැල්ල සිව් පුද්ගල ඝාතනයට අදාළ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට තංගල්ල කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාට ඉඩ නොදීමට සහ එරෙහිව අපරාධකරුවන් නිතිය හමුවට ගෙන එන ලෙස ඉල්ලමින් ඝාතනයට ලක්වූ පුද්ගලයන්ගේ ඥාතීන් අද පෙරවරුවේ කුඩාවැල්ල මංසන්ධියේදී විරෝධතාවක් පැවැත්වුවා.
පැය 1 හමාරකට අධික කාලයක් පැවති විරෝධතාව හේතුවෙන් මාර්ග තදබදයක්ද ඇති වුණා.
පසුව එම ස්ථානයට පැමිණි තංගල්ල පොලිස් අධිකාරී අභයරාජ් ගම්ලත් මහතා අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවන බවට කළ ප්‍රකාශයත් සමග විරෝධතාකරුවන් විසිර ගියා.