Gossips

අපේ රටේ මානව හිමිකම් ගැටළු විසදාගැනීමට අපට නිදහස දෙන්න – ජනපති

මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් ඇමරිකාවේ සම අනුග්‍රාහකත්වයෙන් 2015දී සම්මත කරගත් යෝජනාව ක්‍රියාත්මක කිරීමට කල් ඉල්ලීම සදහා මෙවර ජිනීවා සැසිවරයට කල් ඉල්ලීමේ යෝජනාවක් ඉදිරිපත් කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
නමුත් ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශ කළේ මානව හිමිකම් සම්බන්ධයෙන් ගැටළු පවතින්නේ නම් ඒවා විසදා ගැනීම සදහා ශ්‍රී ලංකාවට නිදහස ලබාදෙන ලෙස දැනුම්දීම සදහා තම නියෝජිතයින් තිදෙනෙක් ජිනීවා වෙත පිටත්කර යවන බවයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරය මේ දිනවල ජිනීවාහීදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවක් මේ මස 20 වනදා එම කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඊයේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් පලකරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවේ ගැටළු පවතින්නේ නම් ඒවා අභ්‍යන්තරව විසදා ගැනීම සදහා ශ්‍රී ලංකාවට නිදහස ලබාදෙන ලෙස මෙවර සැසිවාරයට දැනුම්දීම සදහා තම නියෝජිතයින් තිදෙනෙක් ජිනීවා බලා පිටත්කර යවන බවයි.
ජනාධිපතිවරයා මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය සම්බන්ධයෙන් එවන් ස්ථාවරයක් ප්‍රකාෂ කර ඇති පසුබිමක විදේශ කටයුතු අමාත්‍යාංශයද ඊයේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.
එහිදී දැක්වෙන්නේ ස්ථිර හා කල්පවත්නා සංහිදියා ක්‍රියාදාමයක් පවත්වාගැනීමට ශ්‍රී ලංකාව තුළ ඇති කැපවීම හා අධිෂ්ඨානය අඛණ්ඩවම ප්‍රදර්ශනය කරමින් 2015 ඔක්තෝම්බර් 01 වන දින සම්මත වූ 30/1 යෝජනාවේ කාලය දීර්ඝ කර ගැනීමට මෙවර සැසිවාරයට කල් ඉල්ලීමේ යෝජනාවක් ඉදිරිපත් කරන බවයි.
2015 වසරේදී ශ්‍රී ලංකාව සමග එක්ව 30රැ1 යෝජනාව ගෙන ආ ඇමරිකා එක්සත් ජනපදය මේවන විට ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්ව සිටීම හේතුවෙන් අදාළ යෝජනාවට කල් ඉල්ලීමේ මෙම යෝජනාවට සම අනුග්‍රාහකත්වය ලබාගැනීම සදහා එක්සත් රාජධානිය සමග ශ්‍රී ලංකාව අත්වැල් බැදගන්නා බවද එම නිවේදනයේ සදහන්.
මේ අතර දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා අද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් එම සන්ධානයේ ස්ථාවරය පැහැදිලි කළා.