Gossips

ලාල්කාන්ත ඇප මත මුදා හැරේ

බීමතින් රිය අනතුරක් සිදුකිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත අද ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ, ඔහුගේ නීතිඥයන් මෝසමක් මගින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සලකා බැලූ අවස්ථාවේදියි.
එහිදී අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාර නියෝග කළේ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමටයි.
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට දැනුම් දුන්නේ විත්තිකරු විසින් අනතුරට පත් කළ යතුරුපැදිය පැද වූ කාන්තාවට රුපියල් ලක්ෂයක මුදලක් සහ අනතුරට පත්වූ දැරියට ද රුපියල් ලක්ෂයක මුදලක් ද ගෙවා ඇති බවයි.
ඒ අනුවයි අතිරේක මහේස්ත්‍රාත්වරයා, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත ඇප මත මුදා හැරීමට නියෝග කළේ.
අනුරාධපුර – නව පුත්තලම් මාර්ගයේ බන්ධනාගාරය ඉදිරිපිට අදාළ අනතුර සිදුවුණේ පසුගිය 1 වන දායි.
එහිදී යතුරුපැදිය පැදවූ කාන්තාව සහ එහි පසුපස ගමන් කළ ඇගේ 14 හැවිරිදි ඥාති දියණියක තුවාල ලැබුවා.