Gossips

මහනුවර නව මාර්ග සැලැස්ම ඉවත් නොකරන බව ආණ්ඩුකාරවරයා කියයි

මහනුවර නගරයේ මාර්ග තදබදය අවම කිරීම සඳහා ක්‍රියාත්මක සැලැස්ම කවුරුන් විරුද්ධ වුවත් අත්හිටුවන්නේ නැති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ දඹුල්ල ප්‍රදේශයේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මහනුවර – පේරාදෙනිය මාර්ගය සහ විලියම්ගොපල්ලව මාවතේ පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා එකම දිශාවකට ගමන් කිරීමට සකස් කළ නව රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීම ඇරඹුණේ පසුගිය 03 වනදා සිටයි.
ඒ අනුව, විලියම් ගොපල්ලව මාවත ඔස්සේ පේරාදෙණියෙන් සියලූම වාහන මහනුවරට ඇතුළු විය යුතු අතර, මහනුවරින් පිටවන සියලුම රථ වාහන උඩපාර පැරණි මාර්ගය ඔස්සේ එක දිශාවකට ගමන් කළ යුතු බවයි පොලීසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් මෙම මාර්ග සැලැස්මට එරෙහිව පිරිසක් විරෝධතා ක්‍රියාත්මක කළ අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය ඊයේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.
ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවේ මෙම විරෝධතා මහජන සාමය කඩ නොවන ලෙස සාමාකාමී අයුරින් පවත්වාගෙන යන ලෙසටයි.