Gossips

ජ.වි.පෙ. – විපක්ෂ නායක හමුව අවසන්

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් අතර සාකච්ඡාව අද පස්වරුවේ කොළඹ – විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා.
ඊට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි නායක පාර්ලිිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් මෙන්ම සුනිල් හඳුන්නෙත්ති ද එක්ව සිටියා.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන සහ ඩලස් අලහප්පෙරුම ද සාකච්ඡාවට එක්වූ බවයි විපක්ෂ නායක කාර්යාලය ප්‍රකාශ කළේ.
මේ සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කළේ විසිවන සංශෝධනය ජනමත විචාරනයක් මගින් සම්මත කරගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකයා දැනුම්වත් කළ බවයි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා එකඟතාව පළ කර තිබෙන බවද ඔහු එහිදී කියා සිටියා.
මෙම සාකච්ඡාව සන්ධානගතවීමක් සඳහා නොවන බවද අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදෙමින් අවධාරණය කළා.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සාකච්ඡාවට එක්ව සිටි මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ බවයි.