Gossips

විපක්ෂ නායකගෙන්, ජවිපෙ සමඟ පැවැත්වෙන සාකච්ඡාව ගැන පැහැදිලි කිරීමක්

ජනතා විමුක්ති පෙරමුණ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමඟ අද පැවැත්වෙන සාකච්ඡාව ගැන විපක්ෂ නායක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ නියමිත පරිදි සාකච්ඡාව අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන බවත් ඒ සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ ඒකාබද්ධ විපක්ෂයට අයත් පක්ෂ නායකවරුන් සමඟ සාකච්ඡා කර ඇති බවයි.
රටේ වැදගත් ප්‍රශ්න පිලිබඳව දෙමල ජාතික සන්ධානය ඇතුළු වෙනත් පක්ෂ කණ්ඩායම් විපක්ෂ නායකවරයා සමඟ සාකච්ඡා කිරීමට ඉල්ලීමක් කළහොත් ඊට එකඟතාවය පළ කරන බව ද එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම අද පැවැත්වෙන සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන සහ ඩලස් අහලප්පෙරුම ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමඟ එක්වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
කෙසේ වෙතත්, පිවිතුරු හෙළ උරුමය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ මෙම හමුවෙන් කිසිදු ප්‍රතිඵලයක් අත්නොවනු ඇති බවයි.
ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධවීමට ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් එකඟතාවයකට පැමිණ ඇති බව ද මන්ත්‍රීවරයා කියා සිටියා.