Gossips

කෝටි 500 දියමන්ති කොල්ලයේ කැවුමා, දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර – ගිනිඅවිත් සොයා විශේෂ මෙහෙයුමක්

පන්නිපිටිය – ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද රුපියල් කෝටි 500ක් පමණ වටිනාකමකින් යුත් නිල් දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් කැළුම් ඉන්දික හෙවත් කැවුමා දින 7 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමිවුණා.
ඒ, සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවත්, ඔහු සන්තකයේ තිබූ ගිනි අවි කිහිපයක් සොයාගැනීම සඳහා මේ වන විටත් මෙහෙයුමක් ක්‍රියාත්මක බවත් පරික්ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.
මේ අතර, සැකකරු කුලියට ගෙන තිබූ නිවාස දෙකක තිබී ජීව උණ්ඩ 647ක්, ජංගම දුරකථන 126ක්, අත්විලංගු 3ක්, රන් පවුම් 40 ක් සහ පොලිස් හා යුද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් කිහිපයක් ඊයේ සොයාගෙන තිබුණා.
පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු ළඟ තිබී වෙඩි නොවදින රුපියල් ලක්ෂ 37 ක් වටිනා සුරයක්ද පොලිස් භාරයට ගත් බවයි.
මේ අතර, ඊයේ පැවති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේ දැනට ඩුබායි හි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සැලසුමකට අනුව කණ්ඩායම් දෙකක් යොදා ගෙන මෙම දියමන්ති කොල්ලය කැවුමා විසින් මෙහෙයවා ඇති බවයි.
එමෙන්ම දියමන්තියේ හිමිකරු එය තමා සන්තකයේ තිබූ දියමන්තිය බව තහවුරු කරගත් බවත්, ඔහුටද දියමන්තිය ලැබුණු ආකාරය ගැන වෙනම විමර්ශනයක් සිදුකරන බවත් ඔහු සඳහන් කළා.