Gossips

වී අස්වනු නෙලීමට ගිය 3 දෙනෙකුට විදුලිසැර වැදිලා

ඇල්පිටිය – මණ්ඩකන්ද – දෙමටගහකන්ද ප්‍රදේශයේ වී අස්වනු නෙලීමට ගිය කාන්තාවක් ඇතුළු 3 දෙනෙකු අද උදෑසන විදුලිසැර වැදීමෙන් ඇල්පිටිය රෝහලට ඇතුළත් කෙරුණා.
සතුන් දඩයම් කිරීම සඳහා නීතිවිරෝධී ලෙස යොදා තිබූ විදුලි රැහැනක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි ඇල්පිටිය පොලීසිය සඳහන් කළේ.
මණ්ඩකන්ද ප්‍රදේශයේම පදිංචිකරුවන් වන මොවුන් අතරින්, කාන්තාවට මුලින් විදුලිසැර වැදී ඇති අතර, අනෙක් දෙදෙනා අනතුරට ලක්වුණේ ඇයව බේරා ගැනීමට යාමේදියි.
පසුව එම ස්ථානයේ තිබී එම විදුලි රැහැනේ ගැටී මිය ගිය විල් මුවෙකුගේ සිරුරක් ද සොයා ගැනුණා.
සිද්ධිය සැලවීමෙන් පසු අදාළ විදුලි රැහැන ඇට වූ පුද්ගලයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, ඔහු සොයා විමර්ශනයක් සිදුකරන බවයි ඇල්පිටිය පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර, බඹර උවදුරක් හේතුවෙන් අවිස්සාවේල්ල – ශාන්ත මරියා විද්‍යාලය අද දිනයේ වසා දැමුණා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි විදුහල්පතිවරයා කියා සිටියේ දින දෙකකට පෙර විද්‍යාලයේ 6 සිට 11 දක්වා ශ්‍රේණි පැවැත්වෙන ගොඩනැගිල්ලේ 3 වන මහලේ බඹර කූඩුවක් බැද ඇති බවයි.
එමගින් පාසල් සිසුන්ට අනතුරක් සිදුවිය හැකි බැවින් ඔවුන්ට නිවාඩු ලබාදී බඹර කූඩුව ඉවත් කිරීම සඳහා කටයුතු කළ බව විදුහල්පතිවරයා ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, බඹරු යළි එම ස්ථානයේ සිටීම හේතුවෙන් වනජීවි දෙපාර්තමේන්තුවට ඒ බව දැනුම් දී තිබෙනවා.
ඒ අනුව ඔවුන්ගේ ද සහය ඇතිව අද රාත්‍රියේ බඹරුන් ගොඩනැගිල්ලෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි විදුහල්පතිවරයා කියා සිටියේ.