Gossips

2019 වසරේ අයවැය යෝජනා හෙට පාර්ලිමේන්තුවට

2019 වසරට අදාල අයවැය යෝජනා හෙට (05) මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ වනවිටත් අයවැය සම්බන්ධයෙන් දේශපාලනඥයන් මෙන්ම විද්වතුන් විවිධ අදහස් පළ කරනවා.
බොහෝ සංවාදයන්ට හේතුවී ඇත්තේ රට තුළ පවතින ආර්ථික වටපිටාව සහ මෙම වර්ෂය මැතිවරණ වසරක් ලෙස හඳුන්වා තිබීමයි.
හෙට ඉදිරිපත්වන අයවැය කෙසේ විය යුතුදැයි හිරු ප්‍රවෘත්ති අංශය විද්වතුන්ගෙන් විමසීමක් කළා.
කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය එච්.බී. කරුණාරත්න සඳහන් කළේ දේශපාලන වටපිටාවට වඩා තිරසාර සංවර්ධනයක් ඉලක්ක කරගත් අයවැයක් කාලීන අවශ්‍යතාව බවයි.
රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ විශ්ලේෂනයන් ඉදිරිපත් කරන ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධනගෙන්ද අප අයවැයේ විද්වත් අපේක්ෂාවන් පිළිබඳ විමසීමක් කළා.
ඔහු කියා සිටියේ මැතිවරණ වර්ෂයක් වීම හේතුවෙන් ආදායම් වැඩි කරගැනීම වැනි මූල්‍ය විනයට හේතුවන කරුණු මෙවර අයවැයෙන් ගිලිහී යනු ඇත්දැයි සැක සහිත බවයි.
මේ අතර කම්කරු හා වෘත්තිය සමිති කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර කොළඹ අද (04) පැවති උත්සවයකදී අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් සම්බන්ධයෙන් ඉඟි පළ කළා.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ කැමති වුවත්, අකමැති වුවත් ආණ්ඩුවට මූල්‍ය අරමුදලේ කොන්දේසි මත අයවැය ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති බවයි.
පසුගිය පෙබරවාරි 5 වනදා අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ අතර, එදිනම එය පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.
හෙට පස්වරු 2ට මුදල් අමාත්‍යවරයා අයවැය කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර, දෙවන වර ඡන්ද විමසීම ලබන 12 වනදා පැවැත්වෙනවා.
ඊට පසුදින තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ කෙරෙන අතර අවසන් ඡන්ද විමසීම අප්‍රේල් 5 වන සිකුරාදා සිදුකිරීමට නියමිතයි.