Gossips

ලැබෙන වැසි ගොවිතැනට සහ ජල විදුලියට ප්‍රමාණවත් නැහැ

උතුර සහ වයඹ හැර සෙසු පළාත්වලට අද (28) දිනයේත් තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, විදුලිබල මණ්ඩලය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කෘෂිකාර්මික කටයුතුවලට සහ ජල විදුලියට ඇදහැලෙන වැසි ප්‍රමාණවත් නොවන බවයි.
මේ අතර, ජල විදුලි නිෂ්පාදනයට ද තවමත් ප්‍රමාණවත් පරිදි ජලය ලැබී නොමැති බවයි විදුලිබල අමාත්‍යාංශය සදහන් කළේ.
ජල විදුලිය නිෂ්පාදනය කෙරෙන ඉහළ කොත්මලේ, කාසල්රී සහ මාවුස්සාකැලේ යන ජලාශ පිහිටා ඇති මධ්‍යම කදුකරයට ප්‍රමාණවත් පරිදි වැසි නොලැබීම ඊට හේතුවයි.
දැනට ජල විදුලිය නිපදවන ජලාශ පිරී ඇත්තේ සියයට 53 යි දශම 6 ක ප්‍රමාණයක් බව ද එම අමාත්‍යාංශය සදහන් කළා.
ඊයේ (27) දිනයේත් එම ප්‍රදේශවලට වැසි ඇතිවුවත්, එය ප්‍රමාණවත් නොවන බව ජලාශ භාර ඉංජිනේරුවරුන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.
කෘෂිකාර්මික කටයුතු සදහා ජලය ලබාදීමට ද ප්‍රමාණවත් පරිදි වැසි ලැබී නොමැති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මොහාන් රාජ් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
ඊයේ දිනයේදී ඇති වූ වැසි සමග පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8 ක් අඩිය බැගින් තවදුරටත් විවෘත කර තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, මන්නාරම, සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට තවමත් ප්‍රමාණවත් පරිදි වර්ෂාව ලැබී නොමැති බවයි.
එම ප්‍රදේශවල ලක්ෂ 3 කට ආසන්න පුද්ගලයින් සංඛ්‍යාවක් මේ හේතුවෙන් පීඩාවට පත්වී සිටිනවා.
ඊයේ (27) පස්වරුවේ අධික වැසි සමග ගාල්ල නගරයේ මෝඩි ඇල සහ මොරගොඩ ඇල පිටාර ගැලූ අතර ඒ හේතුවෙන් කරාපිටිය, බෙලිගහ සහ හිරිඹුර යන ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යටවූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.
කෙසේ වෙතත්, අද (28) දිනයේදීත් යළි වැසි ඇතිවුවහොත් එම ප්‍රදේශවල පහත් බිම් යටවිය හැකි බවයි ගාල්ල ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ කර්නල් දම්පත් රත්නායක කියා සිටියේ.