Gossips

පෙම්වතියගේ දිවි ගැලවූ නාවලපිටියේ සිසුවෙකු මිතුරිය සමග දුම්රියට බිලි

දුම්රියක ගැටී පාසල් සිසුවෙකුු සහ සිසුවියක ජිවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත සිදුවීමක් අද පෙරවරුවේ නාවලපිටිය ජයසුන්දර ප්‍රදේශයෙන් වාර්තා වුණා.
මෙහිදී දුම්රියේ ගැටීමට ගිය සිසුවිය, සිසුවා විසින් මුදාගැනීමට උත්සහ කළ අවස්ථාවේ දෙදෙනාම දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මියගිය පාසල් සිසුවා සිය පෙම්වතිය වන තවත් සිසුවියක සමඟ දුම්රිය මාර්ගයේ ගමන් කර තිබෙනවා.
එහිදී ඔවුන්ගේ මිතුරියක වන අනෙක් සිසුවිය ජංගම දුරකථනයක් භාවිතා කරමින් ඔවුන්ට ඉදිරියෙන් ගමන් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
මෙම අවස්ථාවේ කොළඹ – කොටුවේ සිට ඇල්ල දෙසට ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය පසුපසින් පැමිණ ඇති අතර, එය දුටු සිසුවා ඔහු සමඟ ගමන් කළ සිය පෙම්වතිය දුම්රිය මාර්ගයෙන් ඉවතට තල්ලූ කර ඉදිරියෙන් ගමන් කළ මිතුරිය බේරාගැනීමට උත්සහ කිරීමේදී දෙදෙනාම දුම්රියේ ගැටී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
මියගිය පාසල් සිසුවා නාවලපිටිය – දෙකිඳ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි අයෙකු වන අතර, මියගිය සිසුවිය නාවලපිටිය – ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි තැනැත්තියක්.
අනතුර සිදුව අවස්ථාවේ මියගිය සිසුවා දුම්රිය මාර්ගයෙන් ඉවතට තල්ලූ කළ සිය පෙම්වතියට මෙහිදී කිසිදු අනතුරක් සිදුනොවීම විශේෂත්වයක්.
මොවුන් තුන්දෙනාම බාහිර පන්තියකට සහභාගි වන බව නිවෙස් වෙත පවසා පැමිණ ඇතත්, එම පන්තියට නොගොස් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා.
එසේම, මියගිය සිසුවියගේ පෙම්වතා බවට සැකකෙරෙන සිසුවා මොවුන් සමග නගරයට පැමිණ එම අමතර පන්තියට සහභාගි වී ඇති බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.