Gossips

පුල්මුඩේ ඛනිජ වැලි සේවකයින්ට ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රහාරයක්

ලංකා ඛනිජ වැලි සංස්ථාවේ පුල්මුඩේ කර්මාන්ත ශාලාවේ සේවකයින් පිරිසකට ප්‍රදේශවාසීන් පිරිසක් පොලූ මුගුරුවලින් පහර දී තිබෙනවා.
ඒ, කර්මාන්ත ශාලාව සතු වටිනා ඛනිජ වැලි තොගයක් ආවරණය කරමින් ආරක්ෂිත වැටක් ඉදිකිරීමට ගිය අවස්ථාවේදීයි.
ලංකා ඛනිජ වැලි සංස්ථාවේ පුල්මුඬේ කර්මාන්ත ශාලාවට අයත් ඛනිජ වැලි තොගයක් කර්මාන්ත ශාලාවට ආසන්න රජයේ ඉඩමක ගොඩගසා ඇති අතර, ඒවා ප්‍රදේශවාසීන් විසින් නිතර සොරකම් කරන බවටයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් වැලි තොග ආරක්ෂා කිරීම සඳහා එම භූමිය වටා ආරක්ෂක වැටක් ඉදිකිරීම පිළිබඳව සොයා බැලීමට ලංකා ඛනිජ වැලි සංස්ඛාවේ සභාපති, නීතිඥ ඉන්දිකා රණතුංග ඇතුළු කණ්ඩායමක් පසුගියදා එම ප්‍රදේශයට පැමිණියා.
පොලූ මුගුරු රැගෙන එම ස්ථානයට කඩා වැදුණු ප්‍රදේශවාසීන් පිරිසක් ලංකා ඛනිජ වැලි සංස්ථා නිලධාරීන්ට පහර දුන්නේ සභාපතිනිය ඉදිරියේදීයි.
එහිදී ප්‍රදේශවාසියෙක් ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිනියටද තර්ජනය කළා.
පහරකෑමෙන් තුවාල ලැබූ නිලධාරියෙකු රෝහල් ගත කෙරුණු අතර, ප්‍රහාරය සම්බන්ධයෙන් සේවකයින් විසින් පුල්මුඩේ පොලිසියට පැමිණිල්ලක්ද සිදුකර තිබෙනවා.
ඒ අනුව අත්අඩංගුවට ගෙන කුච්චවේලි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු පුද්ගලයින් දෙදෙනෙකු ඇප මත මුදාහැර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.