Gossips

කරන්නාගොඩගේ පෙත්සම් විභාගයෙන් විනිසුරුවරයෙකු ඉවත්වෙයි

තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන්නැයි ඉල්ලා හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ඉවත්ව තිබෙනවා.
අද (28) පෙරවරුවේ මෙම පෙත්සම අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ මුර්දු ප්‍රනාන්දු හමුවේ කැදවූ අවස්ථාවේදී පෞද්ගලික හේතුවක් මත මෙම පෙත්සම සලකා බැලීමෙන් ඉවත්වන බව විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන දැනුම් දුන්නා.
ඒ අනුව මෙම පෙත්සම් මාර්තු මස 07 වනදා දක්වා කල් තැබුණා.
පෙත්සම කැදවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් ප්‍රනාන්දු කියා සිටියේ තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශණ මේ වනවිට බොහෝ දුරට අවසන් බැවින් හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව චෝදනා ගොනු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බවයි.
කෙසේ වෙතත් තම සේවාදායකයාට එරෙහිව චෝදනා ගොනු කිරීම ගැටළුවක් නොවන නමුත් ඔහු අත්අඩංගුවට ගැනීමට විරුද්ධත්වය පළ කරන බවයි හිටපු නාවික හමුදාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කියා සිටියේ.
2008 – 2009 වකවානුවේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ 14 වන සැකකරු ලෙස අද්මිරාල් වසන්ත කරන්නාගොඩ නම් කර තිබෙනවා.
ඒ අනුව තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් එය වලක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවේ පසුගිය 25 වනදායි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුවෙකුට රැකවරණය ලබාදීම පිළිබදව පසුගිය වසරේ දෙසැම්බරයේදී දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර පසුව ඔහු ඇප මත මුදාහැරුණා.