Gossips

කෝටි 12හේ හෙරොයින් ලැබුණේ වාරියපොල රැඳවියන් දෙදෙනෙකුගෙන් බවට තොරතුරු

කුලියාපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 12ක් වටිනා හෙරොයින් තොගය ලැබී ඇත්තේ බන්ධනාගාර ගතව සිටින රැඳවියන් දෙදෙනෙකුගෙන් බවට තොරතුරු හෙළිවී තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ මෙම මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සැකකරු බන්ධනාගාරයේ සිටින එම රැඳවියන්ගේ ප්‍රධාන ගෝලයෙකු බවයි.
කුලියාපිටිය – හෙට්ටිපොල – කඹුරාපොළ මංසන්ධියේදී කෝටි දොළහේ මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (27) රාත්‍රියේදියි.
සැකකරු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී රුපියල් කෝටියක් පමණ වටිනා හෙරොයින් කිලෝ 1 ක් අත්අඩංගුවට ගත් අතර, පසුව අඹගස්ගෙදර – නාගොල්ලාගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තිබී කෝටි 11 ක් පමණ වටිනා ඉතිරි හෙරොයින් කිලෝ 09 සොයාගනු ලැබුවා.
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය සඳහන් කළේ සැකකරුගේ නිවසේ අල්මාරියක තිබී මෙම මත්කුඩු තොගය සොයාගත් බවයි.
වැඩිදුර පරීක්ෂණවලදී හෙලිවුනේ මීට දින 2 කට පමණ පෙර සැකකරුට මෙම මත්කුඩු තොගය කිසියම් පුද්ගලයෙකු විසින් ලබාදී ඇති බවයි.
පසුගිය ජනවාරි මාසයේ හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 500 ක් ළඟ තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන දැනට වාරියපොල බන්ධනාගාරයේ සිටින සුරංග සෙනෙවිරත්න නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ ඔහුගේ අනුගාමිකයෙකු විසින් මෙම හෙරොයින් තොගය එවා ඇති බවටද තොරතුරු ලැබී තිබෙනවා.
ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු කොන්ත්‍රාත්කරුවෙකු ලෙස පෙනී සිට ඇති බවටද අනාවරණ වී තිබෙනවා.
මොහු මේ වනවිට කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත රැගෙන විත් ඇති අතර, අද (28) පස්වරුවේ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.