Gossips

මාරවිලදී තිදරු මව සහ අනියම් සැමියා ඝාතනය කළ සැකකරු පොලිසියට කොටු

මාරවිල, කුරුස පල්ලිය ප්‍රදේශයේදී තම බිරිඳ සහ ඇයගේ අනියම් සැමියා කපා කොටා ඝාතනය කිරීමට අදාල සැකකරු මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 20 වැනිදා සිදුවූ මෙම සිදුවීමෙන් බරපතල කැපුම් තුවාල සහිතව මාරවිල මූලික රෝහලට ඇතුළත් අදාල කාන්තාව සහ පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබුණා.
එහි ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු 39ක් වයසැති කාන්තාව පසුගිය 21 වනදා අලුයම මිය ගොස් ඇති අතර ඇයගේ අනියම් සැමියා බව කියන 42 හැවිරිදි පුද්ගලයා පසුගිය 26 වන දින මියගොස් තිබෙනවා.
ඝතනයන්ට සම්බන්ධ බවට සැක කෙරන මියගිය කාන්තාවගේ සැමියා පසුගිය 26 වැනිදා දහවල් අත්අඩංගුවට ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සිද්ධියෙන් මිය ගොස් ඇති කාන්තාව දැරියන් තිදෙනෙකුගේ මවක් වන අතර ඇයගේ පළමු සැමියා මීට පෙර මියගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.
සැමියා මිය යාමෙන් පසුව ඇය ඝතනයන්ට සම්බන්ධ බව කියන සැකකරු සමඟ පවුල් ජීවිතයක් ආරම්භ කර ඇති බවයි හෙළිවී ඇත්තේ.
පසුව අදාල කාන්තාව සැකකරුගෙන් වෙන්වී තනිවම ජීවත් වී ඇත අතර එහිදී ඇය එම ප්‍රදේශයේම පදිංචිව සිටි ඝාතනයට ලක්වූ පුද්ගලයා සමඟ අනියම් ඇසුරක් ආරම්භ කර තිබෙනවා.
පසුගිය 20 වැනිදා රාත්‍රීයේ අනියම් සැමියා සමඟ නිවසේ රැඳී සිටින අවස්ථාවක නිවසට පැමිණ ඇති සැකකරු කාන්තාවට සහ ඇයගේ අනියම් සැමියාට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදුකර පලාගොස් තිබෙනවා.
සැකකරු කරණවෑමියෙකු ලෙස සේවය කරමින් සිට පුද්ගලයෙකු වන අතර ඔහු කොළඹ සහ කතරගම යන ප්‍රදේශවල රැදී සිටින බවට පොලීසියට තොරතුරු ලැබී තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
අත්අඩංගුවට පත් සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.