Gossips

බැංකු ණයක් නිසා ආචාර්ය බන්දුලගේ දේපළක් අවදානමේ

පෞද්ගලික බැංකුවකින් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක ණය මුදලක් ගෙවීමට අපොහොසත් වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ නුගේගොඩ – ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි දේපල ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා ලෙස කොළඹ වාණිජ මහාධිකරණය අද නියෝග කළා.
ඒ, අදාළ පෞද්ගලික බැංකුවෙන් අවස්ථා කිහිපයකදී බැංකු අයිරා හා ණය වශයෙන් ලබාගත් මුදල් හා ඊට අදාළ පොලී මුදල් උපයා ගැනීම සඳහා පෞද්ගලික සමාගමකට සහ බන්දුල ගුණවර්ධන මන්තී්‍රවරයාට එරෙහිව ගොනුකර තිබූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්කරමින්.
මහරගම – නාවින්නේ පිහිටි අදාළ පෞද්ගලික සමාගම අවස්ථා 04 කදී එම බැංකුවෙන් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක ණය මුදල් ලබාගෙන, එය ගෙවීම පැහැර හැරීම හේතුවෙනුයි කොළඹ වාණිජ මහාධිකරණයේ මෙම නඩුව ගොනුකර ඇත්තේ.
එහිිදී දෙවැනි විත්තිකරු වන බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ නුගේගොඩ – ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි දේපල ඇපයක් වශයෙන් ඉදිරිපත් කර තිබූ බව පැමිණිලි පාර්ශවය විසින් අධිකරණය දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ තමා බැංකුවේදී ඇපකරයක් වශයෙන් යම් ලේඛණයකට අත්සන් කළ නමුත්, උකස්කරයකට අත්සන් නොකළ බවයි.
මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විමසීම අවසානයේදී සිය තීන්දුව ප්‍රකාශයට පත්කළ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු අශාන් මරික්කාර් කියා සිටියේ නොදැන යම් ලේඛණයකට අත්සන් කළ බවට මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය පිළිගත නොහැකි බවයි.