Gossips

සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක්

සීමාවාසික වෛද්‍යවරුන් 278 දෙනෙකුට පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන තිබූ තීරණය අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.
ඒ, සයිටම් සිසුන් තුන්දෙනෙකු ගොනුකළ පෙත්සමක් ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන, එස්. තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සළකා බැලුනු අවස්ථාවේදියි.
මෙම කණ්ඩායමට සයිටම් සිසුන් ඇතුළත් වී නොතිබීම නිසා තමන්ට අසාධාරණයක් සිදුව ඇති බවයි පෙත්සම්කරුවන් එමඟින් දක්වා තිබුණේ.
ඒ අනුව ලබන මස 23 වනදා දක්වා පත්වීම් ලබාදීම අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.
මෙම පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් අද සිදුකිරීමට සැළසුම් කර තිබූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පසු පත්වීම් ලබාදීම අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගැනීමත් සමඟ වෛද්‍ය උපාධිධාරීන්ට නැවත හැරීයාමට සිදුවුණා.
කෙසේ වෙතත් පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 1085 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අමාත්‍යවරයා අතින් අද දිනයේ සිදුවූ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.