Gossips

දකුණේ පොලිස් විශේෂ විමර්ශන ඒකක අවි ගබඩාවට මුද්‍රා තබයි

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමූ බවට චෝදනා එල්ල වී ඇති නිළධාරීන් සේවය කරන දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විමර්ශන ඒකකයේ අවි ආයුධ සහිත ගිනි අවි සේප්පුවට මුද්‍රා තබා තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ඊයේ දිනයේදී මෙලෙස ගිනි අවි සේප්පුවට සීල් තබා ඇති බවයි. එම විමර්ශන ඒකකයේ නිලධාරීන් පරිහරණය කළ ටී – 56 වර්ගයේ ගිනි අවි මෙම සේප්පුවෙහි ගබඩා කර තිබෙනවා.
මීට අමතරව අදාළ සේප්පුවට විශේෂ ආරක්ෂාවක් ද යොදා ඇති බවටයි වාර්තා වන්නේ.
එමෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව ගිනි අවි සම්බන්ධයෙන් සැකයක් ඇති වුවහොත් ඒවා රජයේ රස පරීක්ෂක වෙත ද යොමු කිරීමට නියමිතයි.
මේ අතර, රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ සිරුරු පිළිස්සූ බවට පැවසෙන වලස්මුල්ල – මැදගම්ගොඩ – කනුමුල්දෙණිය රක්ෂිතයේ ස්ථානයක තිබී තවත් අස්ථි කොටස් කිහිපයක් ඊයේ සොයාගෙන තිබෙනවා.
වලස්මුල්ල මහේස්ත්‍රාත් සුරංග මුණසිංහ අද එම ස්ථානයට පැමිණ ඒවා පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි. මීට පෙර ද එම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ බවට පැවසෙන අස්ථි කොටස් කිහිපයක් සොයා ගනු ලැබුවා.
මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් අක්මීමන – ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ දී පහර දී ඝාතනය කිරීමෙන් අනතුරුවයි ඔවුන්ගේ සිරුරු වලස්මුල්ල – මැදගම්ගොඩ – කනුමුල්දෙණිය රක්ෂිතයේදී ඞීසල් දමා පුළුස්සා ඇති බවට අනාවරණ වුණේ.
ඝාතනය කොට පිළිස්සූ බවට සැක කරන ස්ථානයේ තිබී සොයාගත් ශරීර කොටස්වල සාම්පල ඞී.එන්.ඒ පරීක්ෂාව සඳහා අද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරුණා.
එමෙන්ම, ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කොට වලස්මුල්ල ප්‍රදේශයට පිළිස්සීම සඳහා රැගෙන ගිය 59 – 4557 දරණ කැබ් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
මේ අතර, දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ සිටින අනෙක් පොලිස් නිලධාරීන් 10 දෙනාටද ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙසට මාතර කොට්ඨාශය භාර පොලිස් අධිකාරී ගයන්ත මාරපන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසුව 25 දෙනෙකුගෙන් සමන්විත දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් 15 දෙනෙකුට කළුතර සහ පානදුර කොට්ඨාශවලට ස්ථාන මාරුවීම් ලබාදුන්නේ පසුගිය 21 වනදායි.
එම නිලධාරීන්ගෙන් 6 දෙනෙකු තවමත් සේවයට වාර්තා කර නොමැති අතර, ඔවුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.
මේ වනතෙක් ඔවුන් සේවයට වාර්තා කර නොමැති බැවින් ඔවුන් සේවය අතහැර ගියා සේ සැලකීමට සිදුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
පසුගිය ජනවාරි 23 වනදා පොලිස් නිල ඇඳුමින් සැරසුණු පිරිසක් කළු පැහැති වෑන් රථයකින් සහ මෝටර් රථයකින් පැමිණ මෙලෙස පැහැරගෙන ගොස් තිබුණේ 31 හැවිරිදි රසීන් චින්තක සහ 33 හැවිරිදි මංජුල අසේල යන ව්‍යාපාරිකයන් දෙදෙනායි.
පසුව මොවුන් ඝාතනය කර පිළිස්සූ බවට තොරතුරු අනාවරණ වුණා.