Gossips

එස්.ටී.එෆ්. යුද හමුදා සහ රාජ්‍ය බුද්ධි අංශ එක්ව මත්කුඩු මැඩලන්න ඒකාබද්ධ මෙහෙයුමක්

ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ රාජ්‍ය බුද්ධි අංශය ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව බුද්ධි තොරතුරු සැපයීමේ ප්‍රධාන කාර්යභාරය යුද හමුදා බුද්ධි අංශය මගින් ඉටුකරනු ලබන අතර, එම තොරතුරු රාජ්‍ය බුද්ධි ඒකකය මගින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආරක්ෂක කවුන්සිලය වෙත වාර්තා කරනු ඇති.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙල වඩාත් වේගවත්ව ක්‍රියාත්මක වන්නේ එම යාන්ත්‍රණයට අනුවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කිරීමට යුද හමුදාවේ දායකත්වය නිසැකවම ලබාදෙන බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පානදුරේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත කියා සිටියා.
මේ අතර කොල්ලුපිටිය සුපිිරි වෙළඳ සංකීර්ණයක රථ ගාලකදී අත්අඩංගුවට ගත් මෙරට ඉතිහාසයේ වැඩිම වටිනාකමකින් යුත් හෙරොයින් තොගය සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණවලදී අංශ කිහිපයක් වෙත අවධානය යොමුවී තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම හෙරොයින් මත්කුඩු තොගය මෙරටට රැගෙන ආ පාර්ශවය පිළිබඳව එහිදී වැඩි අවධානයක් යොමුකර ඇති බවයි.
දැනට ඩුබායි හි අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ්ට එරෙහි වෙනත් අපරාධ කල්ලියක් මෙය පිටුපස සිටින්නේද යන්න පිළිබඳවද සැක මතුව තිබෙනවා.
එමෙන්ම මීට පෙර දෙහිවලදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය සහ කොල්ලූපිටියෙන් සොයාගත් මත්කුඩු තොගය මෙරටට ගෙන්වීම පිටුපස එකම ජාත්‍යන්තර ජාලයක් ක්‍රියාත්මක වන බවට අනුමාන කළ හැකි බවයි එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ.