Gossips

මෙරටදී අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය ගෙනවිත් ඇත්තේ ඩුබායි සිට බවට හෙළිවේ – වැටලීම කළ නිලධාරීන්ට ජනපතිගෙන් පැසසුම්

මෙරටින් හමුවූ විශාලතම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම වැටලීම සිදුකළ නිලධාරීන්ට ස්තූතිය පළ කර තිබෙනවා.
මෙම ක්‍රියාව අනාගත දූදරුවන් වෙනුවෙන් කළ උදාර මෙහෙවරක් බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.
ඉදිරියේදී සිදුකරන මෙවන් මෙහෙවර වෙනුවෙන් තම පූර්ණ සහය සහ ආශිර්වාදය නිරන්තරයෙන් ලබාදනෙ බව ජනාධිපතිවරයා සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
කොල්ලූපිටියේ සුපිරි වෙළඳ සංකීර්ණයක රථගාලකදී සැකකරුවන් දෙදෙනෙකුද සමඟ අත්අඩංගුවට ගත් මෙරට ඉතිහාසයේ විශාලතම හෙරොයින් තොගය ඩුබායි සිට මෙරටට රැගෙන විත් ඇති බවට තොරතුරු හෙළිවී තිබෙනවා.
ඒ අනුව මේ වනවිටත් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසන්නේ.
එමෙන්ම මේ වනවිට ඩුබායි හි අත්අඩංගුවේ සිටින පාතාල නායකයන් වන මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් මෙම හෙරොයින් තොගය මෙරටට රැගෙන ඒම පිටුපස සිටින්නේද යන්න පිළිබඳව විමර්ශනයක් සිදුකරන බව වාර්තා වනවා.
ඒ පිළිබඳව අනුමාන කළ හැකි සාධක ලැබී ඇති බවද සඳහන්.
මෙරට ඉතිහාසයේ මෙතෙක් අත්අඩංගුවට ගනු ලැබූ විශාලතම හෙරොයින් තොගය වන රුපියල් මිලියන 2945 ක් වටිනා හෙරොයින් කිලෝ 294 ක ප්‍රමාණයක් සොයාගනු ලැබුවේ ඊයේ පස්වරුවේදියි.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ වැටලීමකදියි.
සුපිරි වෙළඳසැලේ නවතා තිබූ වෑන් රථ දෙකක තිබී මෙම හෙරොයින් තොගය හමුවී තිබුණා.