Gossips

ඝාතනය වූ රත්ගම ව්‍යාපාරිකයින්ගේ බවට සැක කෙරෙන, අස්ථි සහ හිසකෙස් ඩී.එන්.ඒ පරීක්ෂාවට

ඝාතනයට ලක්වූ ගාල්ල – රත්ගම – රත්නඋදාගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ බවට සැක කෙරෙන අස්ථි කොටස් සහ හිසකෙස් ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සඳහා යොමු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි එම නිළධාරියා කියා සිටියේ.
මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් අක්මීමන – ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ දී පහර දී ඝාතනය කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වුණා.
පසුව මොවුන්ගේ සිරුරු වලස්මුල්ල – මැදගම්ගොඩ – කනුමුල්දෙණිය රක්ෂිතයේදී පුළුස්සා ඇති අතර එහි තිබී ඔවුන්ගේ අස්ථි කොටස් සහ හිසකෙස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) පස්වරුවේ සොයා ගත්තා.
කෙසේ වෙතත්, මෙම ව්‍යාපාරිකයින් පැහැර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
පසුගිය ජනවාරි 23 වනදා පොලිස් නිල ඇඳුමින් සැරසුණු පිරිසක් කළු පැහැති වෑන් රථයකින් සහ මෝටර් රථයකින් පැමිණ මෙලෙස පැහැරගෙන ගොස් තිබුණේ 31 හැවිරිදි රසීන් චින්තක සහ 33 හැවිරිදි මංජුල අසේල යන දෙදෙනායි.
පසුව පැහැර ගැනීමට ලක්වූ මංජුල අසේලගේ බිරිඳට මාතර – නූපේ පොලිස් කාර්යාලයෙන් නිර්නාමික ලිපියක් ලැබී තිබුණා.
එහි සඳහන් වී තිබුණේ ඔවුන් දෙදෙනා පැහැරගනු ලැබුවේ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනගේ කාර්යාලයේ පිහිටුවා ඇති විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් රෝහණ සහ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා ඇතුළු කණ්ඩායමක් විසින් බවයි.
පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා අත්අඩංගුවට ගත් අතර, ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරයේයි පසුවන්නේ.
එසේම, දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සමන් රෝහණගෙන් සහ එහි තවත් නිලධාරීන් දෙදෙනෙකුගෙන් පසුගිය දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරනු ලැබුවා.
පසුව අදාළ සිදුවීමට සම්බන්ධ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක විරාජ් මධුශංක පෙරේදා අත්අඩංගුවට ගත් අතර, පැය 48 ක කාලයක් ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි අධිකරණය ඊයේ (22) අවසර ලබාදුන්නේ.
ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීයි මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කර පුළුස්සා දැමූ බව කියන ස්ථානයට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (22) ගොස් තිබුණේ.
එසේම, ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සහ ගාල්ල සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීවරිය මෙම ව්‍යාපාරිකයින් ඝාතනය කළ බවට සැක කෙරෙන අක්මීමන – ගොනාමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවස ඊයේ (22) පරීක්ෂාවට ලක් කළා.
කන්දක් මුදුනක ඇති එම හුදෙකලා නිවසේ හිමිකරුගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ඇති අතර, එහි ස්ථාන කිහිපයක තිබී ලේ පැල්ලම් සොයාගෙන තිබෙනවා.
එමෙන්ම, මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැර ගැනීමට ලක්වූ සුඛෝපභෝගී වෑන් රථය, ඊයේ (22) පරීක්ෂාවට ලක්වූ නිවස ආසන්නයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක හිමිකරුවෙකුට අයත් බවයි පරීක්ෂණවලින් හෙලි වී ඇත්තේ.
මේ අතර, ඝාතනය කළ ව්‍යාපාරිකයින් දෙදෙනා පුළුස්සා දැමූ වලස්මුල්ල – කණුමුල්දෙනිය රක්ෂිතයේ අදාළ ස්ථානය වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා, මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු විසින් ඊයේ පරීක්ෂාවට ලක් කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් එම ස්ථානයට පෙරේදා අත්අඩංගුවට ගනු ලැබූ උප පොලිස් පරීක්ෂක විරාජ් මධුශංකද රැගෙනවිත් තිබුණා.
මෙම සිදුවීමට අදාළව කෙරෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන හේතුවෙන් දකුණ පළාත භාර නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන ද පසුගිය 17 වැනිදා පොලිස් මූලස්ථානයට මාරු කළා.
මෙම සිද්ධිය හේතුවෙන් 25 දෙනෙකුගෙන් සමන්විත දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 15 දෙනෙකු බස්නාහිර පළාත වෙත මාරු කර යවා තිබෙනවා.
එසේම, ඊයේ සොයා ගත් අස්ථි කොටස් සහ හිසකෙස් මෙන්ම පස් සාම්පල මේ වනවිට රජයේ රස පරීක්ෂකවරයා සහ මාතර මහරෝහල වෙත යොමුකර තිබෙනවා.