Gossips

බලපත්‍ර නැති යාන්ත්‍රික කියත් ලියාපදිංචිය අදින් ඇරඹේ

ගස් කැපීම සඳහා භාවිත කරන කුඩා සහ විශාල ප්‍රමාණයේ යාන්ත්‍රික කියත් සඳහා බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙල අද සිට ක්‍රියාත්මකයි.
එය ලබන 28 වනදා දක්වා ක්‍රියාත්මක බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ අනුව බලපත්‍රයක් නොමැති යාන්ත්‍රික කියත් ළඟම පිහිටි පොලිස් ස්ථාන වෙත රැගෙන ගොස් ඊට බලපත්‍රයක් ලබාගත යුතු වනවා.
මෙලෙස ලියාපදිංචි කරන කියත් සම්බන්ධයෙන් පොලිස් ස්ථාන මට්ටමින් නාමලේඛනයක් සකස් කිරීමටද නියමිතයි.
පරිසරය රැකගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගෙන යනු ලබන වැඩපිළිවෙලට අදාළවයි මෙම කටයුත්ත සිදුකරනු ලබන්නේ.
ඒ අනුව ගස් කැපීම සඳහා භාවිත කරන කුඩා සහ විශාල ප්‍රමාණයේ යාන්ත්‍රික කියත් බලපත්‍ර නොමැතිව ළඟ තබාගන්නා පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති.