Gossips

කෝටි හතරේ බීඩි කොළ වංචාවට, රේගු නිලධාරීන් දෙදෙනෙකු අනිවාර්ය නිවාඩු යවයි

රජයට රුපියල් කෝටි 4ක බදු ආදායමක් අහිමි කරමින් ටොන් 12ක බීඩි කොළ කන්ටේනරයක් නිදහස් කර ගැනීමේ සිද්ධියට සහකාර රේගු අධිකාරීවරයෙකු සහ රේගු පරීක්ෂකවරයෙකු අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.
සිදුකරන ලද පරීක්ෂණවලට අදාළව හෙලි වූ කරුණු අනුව මෙලෙස ඔවුන් නිවාඩු යවා ඇති බවයි අධිකරණයට කරුණු වාර්තා කරමින් ශ්‍රී ලංකා රේගුව ඊයේ සඳහන් කළේ.
ටොන් 12 ක බීඩි කොළ කන්ටේනරයක් නීතිවිරෝධී ලෙස නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන, අධිකරණ ඇප මත මුදා හැර සිටි සැකකරු ලබන 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරු වියට්නාමයෙන් මෙරටට ගම්මිරිස් ගෙන්වා ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමේ ජාවාරමේද ප්‍රධාන සැකකරුවෙකු වනවා.
අදාළ බීඩි කොළ කන්ටේනරය මෙරටට ආනයනය කර ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් 03 වැනිදායි.
ටොන් 12 ක බීඩි කොළ සහිත මෙම කන්ටේනරය බදු වංචා කරමින් රේගුවෙන් නිදහස් කර ගැනීමට අදාළ සැකකරු කටයුතු කර ඇති අතර, ඉන් රටට අහිමිව ගිය බදු ආදායම පමණක් රුපියල් කෝටි 04 ක්.
කෙසේ වෙතත්, සැකකාර නූර්දීන් ෆසාල් අහමඩ් නැමැත්තා පසුගිය දා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමටයි කටයුතු කළේ.
නඩුව ඊයේ කැදවූ අවස්ථාවේදී අංක 6 අධිකරණයේ මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම ප්‍රකාශ කළේ සැකකරු මීට පෙර ඇප මත මුදා හැරීම ප්‍රමාද දෝෂයක් මත සිදුවූවක් වන අතර, එය තමන් නිවැරදි කරන බවයි.