Gossips

පරීක්ෂණ සිදුවුවත්, රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා තවමත් අතුරුදන් – ඥාතීන්ගෙන් පොලීසියට චෝදනා

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අදට දින 26ක් ඉකුත් වුවත් ඔවුන් පිළිබදව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා ද ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකය භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මීට පෙර පොලිස් මූලස්ථානය වෙත මාරු කර යැවීමට පොලිස්පතිවරයා පියවර ගත් අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවීමටයි පොලිස් කොමිසම තීරණය කර ඇත්තේ.
පසුගිය මස 23 වනදා රත්ගම – බූස්ස – රත්නඋදාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි රසීන් චින්තක සහ 33 හැවිරිදි මංජුල අසේල යන ව්‍යාපාරිකයන් මෙලෙස අතුරුදන්වී තිබුණා.
පසුව ඉන් එක් ව්‍යාපාරිකයෙකුගේ බිරිඳකට නිර්නාමික ලිපියක් ලැබුණු අතර එහි සඳහන් වූයේ පොලිස් පහරදීමකින් එක් පුද්ගලයෙකු මියගිය අතර, එම සිද්ධිය වසන් කිරීමට අනෙක් පුද්ගලයාද ඝාතනය කර ඇති බවටයි.
කෙසේ වෙතත්, ඔවුන්ගේ ඥාතීන් ප්‍රකාශ කරන්නේ සිද්ධියට අදාළව පරීක්ෂණ ආරම්භ කර ඇතත් තම දරුවන් පිළිබදව කිසිදු තොරතුරක් නොමැති වීම කණගාටුවට කරුණක් බවයි.
එසේම මේ පිළිබදව තමන් ඍජුවම පොලීසියට චෝදනා එල්ල කරන බව ද ඔවුන් කියා සිටියා.