Gossips

ශ්‍රීදේවීගේ අභාවය නිසා අනිල් කපූර්ගේ නිවසට බොලිවුඩ් තරු රැසක් (ඡායාරූප)

බොලිවුඩ් සුපිරි නිලි ශ්‍රීදේවීගේ අභාවය සැලවීමෙන් පසු බොලිවුඩ් සිනමාවේ දැවැන්ත තරු අනිල් කපුර්ගේ නිවසට රැස්වී තිබෙනවා.
ශ්‍රීදේවී සමීපව ඇසුරු කළ ෂාරුක් ඛාන්, රන්වීර් සිං, කරීෂ්මා කපුර්, මනීෂ් මල්හෝත්‍රා, දිව්‍යා දත්තා, රජිනි ඛාන්ත්, කමල් හසන් මෙන්ම දීපිකා පදුකෝන් ඇතුලු පිරිසක් අනිල් කපුර්ගේ නිවස වෙත පැමිණ තිබු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
සුපිරි නිලියගේ හදිසි අභාවය පිළිබඳ ඇයගේ සැමියාගේ සොහොයුරෙක් වන අනිල් කපුර්ට ශෝකය පළ කිරීම සඳහායි බොලිවුඩ් තරු එම නිවසට පැමිණ ඇත්තේ.
අනිල් කපුර් යනු බොනී කපුර්ගේ වැඩිමහල් සොහොයුරායි.
මෙම සුපිරි තරු අතර ෂාරුක් ඛාන්ගේ බිරිඳ වන ගෞරි ඛාන් ද වනවා.
ඉන්දීය සමාජවාදී පක්ෂයේ නායක අමර් සිං, අර්ජුන් කපුර් මෙන්ම බොනී කපුර්ගේ පෙර විවාහයේ පුත්‍රයා ද අනිල් කපුර්ගේ නිවසට පැමිණ සිටි බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.
මියයන විට 54 වන වියෙහි පසු වූ ශ්‍රී දේවීගේ දේහය මෙතෙක් ඉන්දියාවට රැගෙන විත් නැහැ.
ඩුබායි ආරක්ෂක අංශ මෙම මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශණයක් සිදු කිරීම හේතුවෙනුයි එය රැගෙන ඒම ප්‍රමාද වී ඇත්තේ.
ඩුබායි නුවර හෝටලයක නාන කාමරයේදී අනතුරට ලක්වු ශ්‍රී දේවී රෝහල් ගතකරන විටත් මියගොස් තිබු බව සඳහන්.
මෙම සිද්ධිය පිළිබඳ ඇයගේ සැමියා වන බොනී කපුර්ගෙන් ද ඩුබායි ආරක්ෂක අංශ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
මේ අතර ශ්‍රී දේවීගේ නිවස අසල මෙන්ම අනිල් කපුර්ගේ නිවස අසල ද ඉන්දීය සිනමා රසිකයන් රැසක් එක්රොක් වී සිටිනවා.
මේ අතර ඩුබායි හි මංගල්‍ය උත්සවයකට සහභාගි වීමට ගොස් සිටියදී හෝටලයේ නාන කාමරය තුළ දියේ ගිලී මියගිය ඉන්දීය සුපිරි තාරකාව ශ්‍රී දේවිගේ දේහය මුදා හැරීම සදහා ඩුබායි බලධාරින් තවත් විමර්ශනයක් අවශ්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා.
ඇයගේ දේහය රජය පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් රැගෙන ඒමට කටයුතු කරන බවයි ඇතැම් ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළා.
එහෙත් ඩුබායි හි ඉන්දීය තානාපති නව්දීප් සූරි ප්‍රකාශ කර ඇත්තේ ඇතැම් විට පරීක්ෂණ ක්‍රියාවලිය අවසන් වීම සදහා දින තුනක් දක්වා කල් ගත විය හැකි බවයි.