Gossips

රත්ගම සිද්ධිය ගැන කොමිසම පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් පූර්ණ විමර්ශන වාර්තාවක් කැඳවීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ එම වාර්තාව කැඳවනු ඇති බවයි පොලිස් කොමිසමේ සභාපති ජී.එච්.මනතුංග හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.
මේ වනවිට සිදුකෙරෙන පරීක්ෂණ පිළිබඳව අවධානයෙන් පසුවන බවද පොලිස් කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළා.
එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා අතුරුදන්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පොලිස් නිලධාරීන්ගෙන් සහ සිවිල් පුද්ගලයින්ගෙන් තවදුරටත් ප්‍රකාශ ලබාගනිමින් සිටින බවයි.
පරීක්ෂණවලට අදාළව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනට ස්ථාන මාරුවක් ලබාදීමටද පියවර ගැනුනා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සඳහන් කළේ පැහැරගැනීමට යොදාගත් බවට සැකපිට පසුගියදා පොලිස් භාරයට ගැනුනු වෑන් රථය නිශ්චිතවම හඳුනාගෙන ඇති අතර, ඒ සඳහා යොදාගත් තවත් මෝටර් රථයක් පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවයි.
එමෙන්ම පොලිස් නිලධාරීන් බව කියන පිරිස ව්‍යාපාරිකයන්ගෙන් නිවෙස් වෙත පැමිණි දිනයේ එය සියැසින් දුටු අසල්වාසීන් කිහිපදෙනෙකු ලබාදුන් සාක්ෂි පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කරන බව පොලීසිය ප්‍රකාශ කළා.
පසුගිය මස 23 වනදා රත්ගම – බූස්ස – රත්නඋදාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි රසීන් චින්තක සහ 33 හැවිරිදි මංජුල අසේල යන ව්‍යාපාරිකයන් මෙලෙස අතරුදන්වී තිබුණා.
ඉන් අනතුරුව ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ බිරිඳකට නිර්නාමික ලිපියක් ලැබුණු අතර එහි සඳහන් වූයේ පොලිස් පහරදීමකින් එක් පුද්ගලයෙකු මියගිය අතර, එම සිද්ධිය වසන් කිරීමට අනෙක් පුද්ගලයාද ඝාතනය කර ඇති බවටයි.
මේ අතර රත්නපුර ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් බවට තොරතුරු ලැබී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූ පුද්ගලයාගේ සිරුරේ තිබූ උණ්ඩ කොටස් පරීක්ෂා කිරීමේදී එය දේශීය නිෂ්පාදිත ගිනිඅවියකින් සිදුවූ වෙඩි තැබීමක් බවට අනුමාන කළ හැකි බවයි.
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ 39 හැවිරිදි රත්නපුර – ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
එමෙන්ම කෙසෙල්වත්ත – වේල්ලවීදිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
පොලීසිය සඳහන් කලේ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ කොටහේනේ චානා නැමති පාතාල කල්ලි නායකයාගේ අනුගාමිකයෙකු බවයි.
මෙය මධුෂ් සමඟ ඩුබායි හි අත්අඩංගුවේ පසුවන කෙසෙල් වත්තේ දිනුකගේ කල්ලියේ ප්‍රහාරයක් බවට තොරතුරු ලැබී ඇති බවද පොලීසිය පවසනවා.