Gossips

ගාල්ලේ ව්‍යාපාරිකයන් දෙදෙනා තවමත් අතුරුදන්

ගාල්ල – රත්න – උදාගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන් වී අදට දින 25ක් ඉකුත් වුවත් ඔවුන් පිළිබද මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන පොලිස් මූලස්ථානයට මාරු කර යවා තිබෙනවා.
හිරු ප්‍රවෘත්ති තුළින් මේ පිළිබදව අනාවරණ කිරීමත් සමඟ, අතුරුදන් වී ඇති බවට පැවසෙන ව්‍යාපාරිකයන් දෙදෙනාගේ බිරින්දෑවරුන් ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වෙත ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද (17) කැදවා තිබුණා.
ගාල්ල – රත්න උදාගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි රසීන් චින්තක හා 33 හැවිරිදි මංජුල අසේල පැහැර ගැනීමට ලක්ව තිබුණේ පසුගිය ජනවාරි මස 23 වන දායි.
පොලිස් නිල ඇඳුමින් සැරසුනු පිරිසක් පැමිණ සුඛෝපභෝගී වෑන් රථයකින් පැමිණ පැහැරගැනීම සිදුකළ බවයි ඔවුන්ගේ ඥාතීන් හිරු ප්‍රවෘත්ති අංශයට චෝදනා කළේ.
කෙසේ වෙතත්, මාතර – නූපේ කාර්යාලයේ පොලිස් නිලධාරීන් එවූ බවට ඥාතීන්ට ලැබුණු ලිපියක දක්වා ඇත්තේ පොලිස් පහරදීමකින් එක් පුද්ගලයෙකු මියගිය පසු එම සිද්ධිය වසන් කිරීම සඳහා අනෙක් පුද්ගලයාද මරාදමා ඇති බවටයි.
එමෙන්ම එම ව්‍යාපාරිකයින් දෙදෙනා දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනගේ කාර්යාලයේ පිහිටුවා ඇති විශේෂ ඒකකයේ ස්ථානාධිපති රෝහණ සහ පොලිස් පරීක්ෂක නිශාන්ත ඇතුළු කණ්ඩායමක් මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවට ද එම ලිපියෙන් දැනුම් දී තිබුණා.
අදාළ සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් රැක ගැනීම සඳහා දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කරමින් සිටින බැවින් ඒ පිළිබදව වගකිව යුතු අංශ දැනුවත් කරන ලෙසයි එම නිර්නාමික ලිපියෙන් දැනුම් දී ඇත්තේ.
ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගිය බව කියන කළු පැහැති වෑන් රථය අක්මීමන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් වන අතර එය ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.