Gossips

ඉන්දියාවට ලෝක කුසලානයේදී පාකිස්තානය සමඟ තරඟ නොවදින ලෙස ඉල්ලීමක්

ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් 40කට වැඩි පිරිසක් මරුමුවට පත් කරමින් කාශ්මීරයේ පුල්මාවා ප්‍රදේශයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව, පාකිස්තානය සමඟ තරඟ නොවැදිය යුතු බව ඉන්දීය ක්‍රිකට් සමාජය පවසනවා.
එංගලන්තයේ එම්.සී.සී. ක්‍රීඩා සමාජයට සමානව මුම්බායි හි පිහිටුවා ඇති එම ක්‍රීඩා සමාජය ඉන්දියාවේ වඩාත් කීර්තිමත් ක්‍රිකට් සමාජයක් ලෙසයි සැලකෙන්නේ.
එමගින් චෝදනා කළේ පාකිස්තානය කේන්ද්‍ර කොටගත් ත්‍රස්ත කණ්ඩායම ඍජුව හෙලා දැකීමට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කටයුතු නොකළ බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් මුම්බායි හි සිය ක්‍රීඩා සමාජයේ ඇති ඉම්රාන් ඛාන්ගේ ඡායාරූපය ආවරණය කිරීමට ද ඉන්දීය ක්‍රිකට් සමාජය පියවර ගෙන තිබෙනවා.
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මැයි 30 වන දා සිට ජුලි 14 වන දා දක්වා එංගලන්තයේදී සහ වේල්සයේදී පැවැත්වෙන අතර, මූලික වටයේ ඉන්දු – පාකිස්තාන තරඟයක් ජුනි 16 වන දා ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හිදී පැවැත්වීමට නියමිතයි.