Gossips

අනාරක්ෂිතකම නිසා සිදුවූ අනතුර

තමන්ගේ නිවසට පසු දරුවෙකුට ආරක්ෂිතම ස්ථානය පාසල.
කෙසේ වෙතත්, පාසලක සිසු දැරියන් පිරිසක් විනෝද චාරිකාවක් ගොස් අනාරක්ෂිතව හැසිරෙන ආකාරය පිළිබඳව අපට වාර්තා වුණේ දඹුල්ල ප්‍රදේශයෙන්.
විදුලි බුබුලුවලින් සහ සංගීත නාදමාලා වලින් නවීකරණය කරන ලද බස්රථ කිහිපයකින් චාරිකාව පැමිණි මේ දරු දැරියන් රාත්‍රී කාලයේ බස්රථ වල වහලයේ පවා නැග අනාරක්ෂිත ලෙස හැසිරෙන ආකාරය ගුරුවරුන් කිසිදු තැකීමක් නොකොට බලා සිටීම විමතියට කරුණක්.
පාසලකින් දරුවන්ට ලබාදෙන්නේ විෂය දැනුම පමණක්‌ නොවේ.
නායකත්ව, පෞරුෂත්ව හා සැඟවුණු දක්ෂතා මතුකරලීම සඳහා විෂයානුබද්ධ ක්‍රියාකාරකම් රැසක්‌ සෑම පාසලක ක්‍රියාත්මක වන අතරල අධ්‍යාපනික චාරිකාද ඒ අතර ප්‍රධාන අංගයක්.
එවන් පසුබිමක අධ්‍යාපනික චාරිකාවක් සඳහා පැමිණි මෙම දරු දැරියන් අනාරක්ෂිත ලෙස සිය සතුට සහ නිදහස භුක්ති විඳිද්දී ගුරුවරුන් නොදුටු දෑසින් බලා සිටීම කිසිසේත්ම අනුමත කළ හැකිද?
මේ අතර අද පස්වරුවේ මාවනැල්ල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 150 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබු රථ පෙළපාලියකට සහභාගී වූ පිරිසක් වහළ මත නැගී සිටි රථ කිහිපයක් අපරික්ෂාකාරී ලෙස සංදර්ශන රිය ධාවනයක යෙදුණා.
එහිදී සමබරතාව බිඳී යාමෙන් එක් රථයක වහළය මත සිටි පිරිස බිමට ඇදවැටෙනවා.
මේ අනතුරින් කිසිවෙකුටත් බරපතළ හානි නොවූවද මේ ක්‍රියාකාරකම් මෙසේ සිදුවන්නට ඉඩ හැර එදෙස බලා සිටිනා ගුරුවරුන් සිය වගකීම කෙතෙක් දුරට ඉටුකළේද යන්න අපට ගැටලුවක්.