Gossips

අමල් සහ නදිමාල් ගැන හෙටත් සාකච්ඡා

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණු ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් සමග හෙට සාකච්ඡා කරන බව නීතිඥ ශාබ්දික වෙල්ලප්පුලි ප්‍රකාශ කළා.
අදාළ කටයුතු සම්බන්ධීකරණය කිරීම සදහා ඩුබායි වෙත ගොස් සිටි ඔහු යළි දිවයිනට පැමිණියේ අද අලූයමයි.
අමල් පෙරේරා සහ නදිමාල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත නොකළ බව ඩුබායි හි මහජන අධි චෝදක ඒකකයේ නිලධාරින් තමන්ට ප්‍රකාශ කළ බව ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.
මේ අතර, අමල් සහ නදිමාල් පෙරේරා මුළුමනින්ම මුදා හැරීමක් හෝ ලිහිල් දඬුවමකට යටත්ව නැවත ලංකාවට පැමිණෙනු ඇතැයි නීතිඥ උදුල් ප්‍රේමරත්න ද මීට පෙර ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ලබන 27 වන දා ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
එසේම, ලංකාවට පැමිණි පසු සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්නේ යැයි අමල් පෙරේරා සඳහන් කළ බවයි නීතිඥ උදුල් ප්‍රේමරත්න ඩුබායි සිට හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අතර, හිටපු පාතල නායක ෆාජිගේ දෙවන බිරිඳ වන සහ පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳ වන ආශා ෆාරී හෙවත් කුඩු චූටි නමැති කාන්තාවට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.
කොටහේන පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වනවිට හදුනාගෙන ඇති බවයි.
කොටහේන – මෛත්‍රී බෝධිරාජ මාවතේ පිහිටි නිවසේදී වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් ඇය පෙරේදා රාත්‍රියේ තුවාල ලැබුවා.
පසුව අනාවරණ වුණේ මෙම ප්‍රහාරය ඉම්රාන්ගේම ගෝලයෙකු විසින් සිදුකර ඇති බවටයි.
මේ අතර, ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුනු පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ මෙරට සිටින ගෝලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව එහි උසස් නිලධාරියෙකු සඳහන් කළා.
මාකඳුරේ මධුෂ් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් පිළිබඳ තොරතුරු රැසක් ලැබී ඇති බවයි ඔහු සඳහන් කළේ.