Gossips

ඝාතන කුමන්ත්‍රණය ගැන රහස් පොලිස් පරීක්ෂණ අවසන් – වාර්තාව ලබන සතියේ නීතිපතිට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂන අවසන් කර තිබෙනවා.
ඊට අදාළ පරීක්ෂණ වාර්තාව ඉදිරි සතියේදී නීතිපති ජයන්ත ජයසූරිය වෙත ලබාදීමට කටයුතු කරන බවයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
ඉන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබනවා.
පසුගිය වසරේ සැප්තැම්බර් 12 වනදා මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර පළමුවරට මාධ්‍ය වෙත හෙළිදරව්වක් කිරීමෙන් අනතුරුවයි පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මෙහි පරීක්ෂණ කටයුතු ආරම්භ කරනු ලැබුවේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයෙකුද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දිනෙක පැය දෙකහමාරකට ආසන්න කාලයක් මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන තිබුණා.
මෙහිදී පොලිස්පතිවරයා සහ හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ඔහුගේ බිරිඳ, ශෂී වීරවංශ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුලු පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රකාශ ලබාගෙන අවසන්.
ඒ අනුව සකස් කළ පරීක්ෂණ වාර්තාවයි ලබන සතියේදී නීතිපතිවරයා වෙත යොමුකිරීමට නියමිතව ඇත්තේ.