Gossips

තණමල්විල වෙඩි තැබීමේ සිද්ධියට තිදෙනෙකු අල්ලයි (ඡායාරූප)

පසුගිය 10 වනදා තණමල්විල නගරයේදී දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ගිනි අවි 3ක් සහ යතුරුපැදි දෙකක් සමඟ අද (16) අලුයම සැකකරුවන් තණමල්විල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් ගිනි අවි අතර විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක්, මෙරට නිෂ්පාදිත බෝර 12 ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් ද වනවා.
25, 27 සහ 28 යන වයස්වල පසුවන්නන් වන ඔවුන් තණමල්විල ප්‍රදේශයේම පදිංචිකරුවන්.
පසුගිය 10 වන දින දහවල් යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයන් සිව්දෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකළ අතර, තණමල්විල – ගාමිණී පුර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි සුදුහකුරුගේ සුමිත් හෙවත් වසන්ත නමැති පුද්ගලයෙක් ඉන් ජීවිතක්ෂයට පත්වුණා.
වෙඩි තැබීමට හේතුව පවුල් ආරවුලක් බවට පසුව අනාවරණ වූ අතර මෙම වෙඩි තැබීමෙන් 22 හැවිරිදි තවත් තරුණයෙකු තුවාල ලබා රෝහල් ගතකරනු ලැබුවා.
පොලීසිය සඳහන් කළේ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා මීට මාස කිහිපයකට ඉහතදී වෙඩි තැබූ පුද්ගලයාගේ පවුලේ අයෙකු ඝාතනය කර ඇති බවට චෝදනා එල්ලවී ඇති බවයි.
එමෙන්ම අවුරුදු ගණනාවක් තිස්සේ මෙම පවුල් අතර මනුෂ්‍ය ඝාතන සිදුව ඇති බවයි තොරතුරු අනාවරණය වුණේ.


ඡායාරූප – වැල්ලවාය, ජයන්ත වීරසේකර