Gossips

වන්දි නොගෙවූ බව පවසමින් විදුලි ව්‍යාපෘතියකට එරෙහිව විරෝධතාවක්

ලංකා විදුලිබල මණ්ඩලය කැළණි ගඟ හරස් කරමින් ඉදිකරමින් පවතින බ්‍රෝඩ්ලන්ඩ් විදුලි බලාගාර ව්‍යාපෘතියේ පරිපාලන කාර්යාලය මේ වනවිට එම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් අත්පත් කර ගෙන තිබෙනවා.
අද පෙරවරුවේ ඔවුන් එම කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණේ විදුලි බලාගාරය සඳහා උමං මාර්ගයක් ඉදිකිරීමේදී අහිමි වූ තම ඉඩම් සඳහා වන්දි මුදල් ලබා නොදීමට විරෝධය පළ කරමින්. විරෝධතාවය ආරම්භ වීමට පෙර මෙම කාර්යාලය විදුලි බලාගාරය ඉදිකිරීමේ කටයුතු සිදුකරන චීන සමාගම විසින් විවෘත කරනු ලැබුවා.
ඉඩම් අහිමි වූ පිරිස උද්ඝෝෂණයක නිරත වීමෙන් පසුව නව කාර්යාලය අත්පත් කර ගත් බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
කෙසේ වෙතත්, විරෝධතාකරුවන් එම කාර්යාලයට ඇතුළු වී සිටියත්, මෙතෙක් කිසිදු බලධාරියෙකු එම ස්ථානයට පැමිණ නැහැ.
ගිනිගත්හේන පොලීසියේ නිලධාරින් විරෝධතාවය සිදුකරන ස්ථානයට පැමිණ සිටියත්, ඔවුන් කිසිදු බලපෑමක් විරෝධතාකරුවන්ට සිදුනොකළ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.