Gossips

මධූෂ් ඇතුළු පාතාල නායකයන්ගේ විමර්ශන සඳහා ඩුබායි යන පොලිස් කණ්ඩායම පත් කෙරේ

පාතාල නායක මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස පිළිබඳව සිදු කෙරෙන විමර්ශනවලට සහය ලබාදීම සඳහා මෙරටින් පිටත්ව යන පරීක්ෂණ කණ්ඩායම පත්කර තිබෙනවා.
ඊට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් ඇතුළත්.
ආරක්ෂක ලේකම්වරයා විසින් පත් කර ඇති මෙම නිලධාරින් පිරිස බොහෝදුරට නිලධාරීන් පස් දෙනෙකුගෙන් හෝ හය දෙනෙකුගෙන් සමන්විත වන බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මධූෂ් ඇතුළු පිරිසට නඩු පවරා එය විභාගයට ගැනීමෙන් පසු මෙම පරීක්ෂණ කණ්ඩායමට ඩුබායි වෙත යාමට එරට බලධාරීන් අවසර ලබාදෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ඩුබායි හි සිදුවන අධිකරණ කටයුතු සම්බන්ධයෙන් තානාපති කාර්යාල ඔස්සේ තවදුරටත් අවශ්‍ය මැදිහත්වීම් සිදුකරන බවයි.
මෙහිදී විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මෙරට අපරාධ ක්‍රියාවන් සම්බන්ධයෙන් අත්‍යවශ්‍යව සිටින පිරිසක් නිසා විශේෂ තත්ත්වයක් ලෙස සලකා කටයුතු කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ මහජන සම්බන්ධතා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සරෝජා සිරිසේන කියා සිටියේ.
එමෙන්ම, ඊයේ කොටහේනේදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ පාතාල නායක කංජිපාන ඉම්රාන්ගේ අනියම් බිරිඳ තවදුරටත් අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
කොටහේන – මෛත්‍රී බෝධිරාජ මාවතේදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ආශා ෆාරී හෙවත් කුඩු චූටි නැමැති කාන්තාවයි.
මේ අතර, මරදාන – දුම්රිය ස්ථානය ආසන්නයේ මගී ගුවන් පාලමේ ගැටීමෙන් ඊයේ අනතුරට ලක්වූ සුඛෝපභෝගී මෝටර් රථයේ පැමිණි පිරිස හඳුනාගෙන තිබෙනවා.
මරදාන පොලිසිය සඳහන් කළේ මොවුන් මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති බවයි.
ඊයේ අලූයම මෙම සුඛෝපභෝගී මෝටර් රථය මගී පාලමේ ගැටී අනතුරට ලක්ව තිබූ අතර, පසුව එහි පැමිණි පුද්ගලයින් පළාගොස් තිබුණා.
ඉන් අනතුරුවයි රථය පරීක්ෂා කිරීමේදී පොලිසිය ඒ තුළ තිබී රුපියල් ලක්ෂ 70 ක් වටිනා කේරල ගංජා තොගයක් සොයාගනු ලැබුවේ.