Gossips

අතුරුදන් වූ රත්ගම ව්‍යාපාරිකයන් ගැන රහස් පොලීසියට ප්‍රකාශ 25 ක්

රත්ගම – බූස්ස – රත්නඋදාගම ප්‍රදේශයේදී පසුගියදා ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹින් ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිස ප්‍රකාශ 25 ක් සටහන් කරගෙන තිබෙනවා.
පවුලේ ඥාතීන් හිතවතුන් සහ ව්‍යාපාරික සබඳතා පැවැත් වූ පුද්ගලයින්ගෙන් මෙලෙස ප්‍රකාශ ලබාගෙන ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ.
රත්ගම – බූස්ස – රත්නඋදාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි රසීන් චින්තක සහ 33 හැවිරිදි මංජුල අසේල මෙලෙස පැහැර ගැනීමට ලක්ව තිබුණේ පසුගිය 23 වැනිදායී.
එදින උදෑසන 10 ට පමණ පොලිස් නිල ඇඳුමින් සැරසුණු පිරිසක් වෑන් රථයකින් සහ මෝටර් රථයකින් පැමිණ පැහැර ගැනීම සිදුකළ බවටයි ඥාතීන් චෝදනා කළේ.
ඉන් අනතුරුව අතුරුදන් වූ දෙදෙනාගෙන් එක් අයෙකුගේ බිරිඳකට නිර්නාමික ලිපියක් එවා තිබුණා.
එහි සඳහන්ව තිබුණේ පොලිස් පහරදීමකින් එක් පුද්ගලයෙකු මියගිය පසු එම සිද්ධිය වසන් කිරීමට අනෙක් පුද්ගලයාද ඝාතනය කර ඇති බවයි.