Gossips

කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳට කොටහේනේදී වෙඩි

මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් කංජිපානි ඉම්රාන් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ අනියම් බිරිඳට ඊයේ කොටහේන – මැල්වත්ත, මෛත්‍රී බෝධීරාජ මාවතේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එම ප්‍රහාරය එල්ල කළ අතර, සිද්ධියෙන් තුවාල ලැබූ ආශා ෆාරි හෙවත් කුඩු චූටි යන මෙම කාන්තාව ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඇය හෙරොයින් ජාවාරමේ නිරත වන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
වෙඩි ප්‍රහාරයෙන් සිදුවූ බරපතල තුවාල හේතුවෙන් මෙම කාන්තාව මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
මේ අතර, ඩුබායි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු සඳහා ඩුබායි රාජ්‍යයට ගොස් සිටින ෂාබ්දික වෙල්ලප්පුලි ඔවුන් මුණගැසී තිබෙනවා.
ඒ, බර්ඩුබායි පොලිසිය තුළදීයී.
මේ අතර, ගායක අමල් පෙරේරාගේ සහ පුත් නදීමාල්ගේ දෙවැනි ලේ සාම්පලද පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර, එහි ප්‍රතිඵල මෙතෙක් නිකුත් වී නොමැති බවයි ඔවුන්ගේ නීතිඥයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
කෙසේ වෙතත්, ලේ සාම්පල පරීක්ෂණ ප්‍රතිඵල අනුව බොහෝවිට ඩුබායි අපරාධ නීති විධිවිධාන 06, 07, 08 යටතේ මන්දිකාරක චෝදනා හෙවත් බරපතල නොවන චෝදනා ගොනු කිරීමට ඉඩ ඇති බවටයි වාර්තා වන්නේ.
එමෙන්ම, ඇතැම් විට චෝදනා ගොනු නොකර දෙදෙනා පිටුවහල් කිරීමටද ඉඩ ඇති බවයි ඔවුන්ගේ නීතිඥයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
පාතාල නායක මාකඳුරේ මධූෂ් ඇතුළු 31 දෙනෙකු අත්අඩංගුවට ගත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිල වශයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබුණා.
රාජ්‍යයේ නීති කඩ කිරීමේ චෝදනා යටතේ මෙම පිරිස අත්අඩංගුවට ගත් බව ඔවුන් එහිදී ප්‍රකාශ කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.