Gossips

අමල් සහ නදීමාල් වෙනුවෙන් පවුලේ නීතීඥවරයෙක් ඩුබායි නුවරට

ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන ගායන ශිල්පී අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීම සඳහා පවුලේ ඥාතීන්ගේ අනුදැනුම සහිතව අද රාත්‍රියේ නීතීඥවරයෙකු දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
ඔහු මේ වනවිට අවශ්‍ය අවසර ලබාගැනීම් සිදුකර ඇති අතර, ඒ අනුව හෙට ඩුබායි නුවරට ළඟාවීමෙන් පසු ඊට අදාළ ඉදිරි කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර පාතාල නායක මාකඳුරේ මධුෂ් ඩුබායි හිදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු සමඟ සබදතා පැවැත්වූ පුද්ගලයින් පිළිබඳව ජනතාව තොරතුරු ලබාදෙමින් සිටින බව පොලීසිය ප්‍රකාශ කළා.
පරීක්ෂණ සිදුකරන දකුණු පළාත භාර පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සිදුකරන මෙහෙයුම් හමුවේ ඇතැම් පාතාල කල්ලි සාමාජිකයින් පදිංචි ප්‍රදේශ අතහැර කොළඹට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
මේ වනවිට මධුෂ් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයින්ගේ ජංගම දුරකථන සහ බැංකු ගිණුම්ද පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා.
එසේම ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ විස්සක් සමඟ සූරියවැවදී පසුගියදා අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වන අසේල එරංග දින 7 ක් රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අවසර ලබාදුන්නා.
ඒ, ඔහු හම්බන්තොට මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පසුගිය ඉරිදා මෙම සැකකරු අත්අඩංගුවට ගත්තා.
එසේම මොහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව සූරියවැව බස්නැවතුම්පලේදී අත්අඩංගුවට ගත් නාලක සුසන්ත නැමැත්තා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර ඇත්තේ.
මොවුන් දෙදෙනාම පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ පියාගේ අවමඟුල් උත්සවයේ සංවිධායකවරුන් ලෙස කටයුතු කර තිබෙනවා.
මේ අතර මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා කිසිදු මත්ද්‍රව්‍යයක් භාවිත නොකළ බවට ඩුබායි පොලීසිය සිදුකරන ලද පරික්ෂණවලින් තහවුරු වී තිබුණා.
අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීමට ඩුබායි රාජ්‍ය වෙත ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න අද ප්‍රථම වරට එරට පොලීසිය හමුවේ කරුණු ඉදිරිපත් කළේ ඔවුන් ගායකයන් බව තහවුරු කිරීම සඳහා අන්තර්ජාලයේ තිබෙන ගීත පොලිස් බලධාරීන්ට නැරඹීමට ඉඩ සළසමින්.